පොලිස් කොමිසම ගැන ත්‍රිකුණාමලයේ වින්දිතයන්ට විශ්වාසයක් නැද්ද?

 

ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරන්නේ පොලිස් නිලධාරීන්ගෙන් මහජනතාවට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙනි. එවැනි පැමිණිලි ඉදිරිපත් කරන බොහෝ වින්දිතයන් අපේක්ෂා කරන්නේ තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී, රහස්‍ය සහ විශ්වසනීය විමර්ශනයක් මෙන්ම අදාළ නිලධාරීන්ගේ වගවීම ද තහවුරු වනු ඇති බවයි. එහෙත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වින්දිතයන් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට මැළිකමක් දක්වන බවට තොරතුරු වාර්තා වේ. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ එම දිස්ත්‍රික්කය තුළ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වින්දිතයන් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන පැමිණිලිවලට අදාළ මූලික විමර්ශන කටයුතු මොරවැව ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ සිදුකිරීම, පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කරන වින්දිතයන්ගේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් වන බවට වින්දිතයකු විසින් අප මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව, බොහෝ අවස්ථාවලදී කොමිෂන් සභාව විසින් පත්කර ඇති බව කියන සහකාර පොලිස් අධිකාරිවරයා වින්දිතයන් හමුවට නොපැමිණෙන අතර, ඔවුන්ගෙන් මූලික ප්‍රකාශ ලබාගැනීම පොලිස් සැරයන්වරුන් වැනි පහළ නිලයන්හි නිලධාරීන් විසින් සිදුකරනු ලබයි. එමෙන්ම, අදාළ ප්‍රකාශ ලබාගන්නා නිලධාරීන් මොරවැව පොලිස් ස්ථානයේ ස්ථානගතව සිටීම ද විමර්ශන ක්‍රියාවලියේ විශ්වසනීයත්වය පිළිබඳ ගැටලු මතුකරන කරුණක් බව වින්දිතයන් පෙන්වා දෙති.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වින්දිතයන්ට පහසුවෙන් ළඟාවිය හැකි ප්‍රදේශයක් වන්නේ ත්‍රිකුණාමලය නගරයයි. එහෙත්, විමර්ශන කටයුතු සඳහා ගමනාගමන පහසුකම් සීමිත මොරවැව වැනි ග්‍රාමීය ප්‍රදේශයක් තෝරාගැනීම හේතුවෙන් වින්දිතයන් තවදුරටත් අපහසුතාවට පත්වන බවට චෝදනා එල්ල වේ.

ත්‍රිකුණාමලය නගරය සහ පොලිස් අධිකාරි කාර්යාල වැනි පහසුකම් සහිත ස්ථාන තිබියදීත්, විමර්ශන කටයුතු සඳහා මෙවැනි දුර බැහැර ප්‍රදේශයක් තෝරාගෙන ඇත්තේ ඇයිද යන්න පිළිබඳව වින්දිතයෝ ප්‍රශ්න කරති. ඇතැම් වින්දිතයන් සැක පළ කරන්නේ මෙම ක්‍රමවේදය හේතුවෙන් තමන්ට අනවශ්‍ය දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවන බවයි.

පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කරන ජනතාවට සාධාරණ, අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශන ක්‍රියාවලියක් සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වින්දිතයන් මතුකරන මෙම ගැටලු සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවධානය යොමු කර, වින්දිතයන්ගේ විශ්වාසය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.

කන්තලේ අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0761366919

එසේත් නැතිනම්,

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100

Social Sharing
අවකාශය පුවත්