ළමුන් සම්බන්ධ පුවත් වාර්තා කිරීම සඳහා වන ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ මාලාවක්!

ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පෙන්වා දී තිබේ. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ මෙම කාරක සභාවේදී මාධ්‍ය ආචාරධර්ම සහ ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

මෙම නව මාර්ගෝපදේශ සංග්‍රහය මුද්‍රිත, විද්‍යුත් මෙන්ම සමාජ මාධ්‍ය (Social Media) යන අංශ සියල්ල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය. ළමයින් මුහුණදෙන විවිධ සිදුවීම් හෝ අපරාධ වාර්තා කිරීමේදී ඔවුන්ගේ අනන්‍යතාව හෙළිවීමෙන් සිදුවන සමාජීය සහ මානසික බලපෑම් අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒ අනුව, තොරතුරු වාර්තා කිරීමේදී තහවුරු කරන ලද සත්‍යතාව සහ සාධාරණත්වය සුරැකීම, ළමයාගේ උපරිම යහපත (Best interests of the child) වෙනුවෙන් මුල්තැන දීම මෙන්ම ළමයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ නිරාවරණය වීම වැළැක්වීම සඳහා පැහැදිලි සීමාවන් හඳුන්වා දී තිබේ.

ඊට අමතරව, විශේෂ අවශ්‍යතා සහිත හෝ ආබාධිත දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී වඩාත් සංවේදී ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි. ආබාධිත දරුවන්ගේ අයිතිවාසිකම් සහ ගෞරවය සුරැකෙන පරිදි, ඔවුන් කෙරෙහි සමාජය තුළ පවතින සෘණාත්මක ආකල්ප වෙනස් වන ආකාරයෙන් මාධ්‍ය භාවිතය සිදුවිය යුතු බවත්, කිසිදු ලෙසකින් ඔවුන්ගේ ආත්මඅභිමානයට හානි වන අයුරින් තොරතුරු හෝ රූපරාමු ප්‍රචාරය නොකළ යුතු බවත් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා විය.

Social Sharing
නවතම පුවත්