
අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන “e-Courts” ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
එහි එක් අදියරක් ලෙස සියලු දිසා අධිකරණවල විභාග වන නඩු සඳහා ගැළපෙන පරිදි විද්‍යුත් නඩු ගොනු කිරීමේ (e-Filing) පද්ධතියක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති අතර, එහි පළමු අදියර ලෙස කොළඹ දිසා අධිකරණයේ සුළු හිමිකම් නඩු සඳහා මෙම පහසුකම හඳුන්වා දී ඇත.
මෙම නව පද්ධතිය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ඊයේ (23) කොළඹ 07 අතිරේක දිසා අධිකරණයේ සුළු හිමිකම් අධිකරණයේදී නිරීක්ෂණය කරන ලදී.
නව e-Filing පද්ධතිය මඟින් නීතිඥවරුන්ට සහ නඩු පාර්ශ්වකරුවන්ට අධිකරණ ලේඛන විද්‍යුත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම පැය 24 පුරා නඩු සහ ඊට අදාළ ලේඛන ගොනු කිරීමේ පහසුකමද ලබාදී තිබීම විශේෂත්වයකි.
ඒ අනුව, ලේඛන ගොනු කිරීම සඳහා පමණක් අධිකරණයට භෞතිකව පැමිණීමේ අවශ්‍යතාව අවම කිරීමට හැකි වන අතර, කඩදාසි භාවිතය හා ඒ ආශ්‍රිත වියදම් අඩු කිරීම, භෞතික නඩු වාර්තා ගබඩා කිරීමට අවශ්‍ය ඉඩකඩ අවම කිරීම සහ අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව හා විනිවිදභාවය වැඩිදියුණු කිරීම මෙම පද්ධතියේ අරමුණු අතර වේ.
කොළඹ දිසා අධිකරණයේ සුළු හිමිකම් නඩු සඳහා e-Filing පහසුකම හඳුන්වාදීම සනිටුහන් කරමින් ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ගුණවර්ධන මහත්මිය විසින් එම අධිකරණය වෙත පළමු විද්‍යුත් නඩු ගොනුව ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් මෙම පද්ධතියේ තාක්ෂණික සංවර්ධන කටයුතු සිදුකර ඇති අතර, පද්ධති සංවර්ධනය අගවිනිසුරුවරයාගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ සිදුකර ඇති බව සඳහන් වේ.
දැනට කොළඹ දිසා අධිකරණයේ සුළු හිමිකම් නඩු සඳහා ක්‍රියාත්මක වන මෙම පහසුකම ඉදිරියේදී අනෙකුත් නඩු වර්ග සඳහා මෙන්ම කොළඹින් පිටත පිහිටි දිසා අධිකරණ වෙතද අදියරෙන් අදියර පුළුල් කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර, e-Courts ව්‍යාපෘතිය යටතේ අධිකරණ කටයුතු වාර්තා කිරීම සඳහා හඬ මඟින් යතුරු ලියනය කිරීමේ (Voice Typing) පහසුකම හඳුන්වාදීමටද කටයුතු කරමින් සිටින අතර, නඩු කටයුතුවල සහතික පිටපත් මාර්ගගතව නිකුත් කිරීම ඇතුළු තවත් ඩිජිටල් පහසුකම්ද ඉදිරියේදී ලබාදීමට නියමිතය.
එමෙන්ම, මෙම වසර තුළ සෑම අධිකරණයක් සඳහාම එම අධිකරණයේ නඩු කටයුතු පිළිබඳ තොරතුරු ලබාගත හැකි වෙබ් අඩවියක්, නඩු ගොනු කළමනාකරණ පද්ධතියක් සහ විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේ.
කොළඹ දිසා අධිකරණයේ e-Filing පහසුකම භාවිත කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි නීතිඥවරුන්ට කොළඹ දිසා අධිකරණයේ වෙබ් අඩවිය හරහා තම පරිශීලක ගිණුම් වෙත ප්‍රවේශ විය හැකිය.
මෙම වැඩසටහනට සහය පළ කරමින් ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥවරුන් විසින් කොළඹ දිසා අධිකරණය වෙත පරිගණක යන්ත්‍ර 15ක්ද පරිත්‍යාග කර තිබේ.
අගවිනිසුරුවරයාගේ නිරීක්ෂණ චාරිකාවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ කොළඹ දිසා අධිකරණ විනිසුරුවරුන් සහභාගී වූ අතර, කොළඹ සුළු හිමිකම් අධිකරණයේ ඩිජිටල් පහසුකම් සඳහා පරිගණක ලබාදීමද එම අවස්ථාවේදී සිදු කෙරිණි.
