
මෙරට පූර්ව ළමා වියේ පසුවන දරුවන් අතර ඩිජිටල් තිර භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කළ සමීක්ෂණයකට අනුව, පූර්ව ළමා වියේ දරුවන්ගෙන් සියයට 64ක් දිනකට විනාඩි 30කට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ පරිගණක ඇතුළු ඩිජිටල් තිර භාවිත කරන බව අනාවරණය වී ඇතැයි ඔහු සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව, කුඩා දරුවන්ගේ දෛනික තිර භාවිත කාලය විනාඩි 30කට අඩු මට්ටමක පවත්වා ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් සහ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
සමීක්ෂණයේදී අනාවරණය වී ඇති තවත් කරුණක් වන්නේ පූර්ව ළමා වියේ දරුවන්ගෙන් සියයට 32ක් පමණ දිනකට පැය 10–11කට අඩු කාලයක් නිදාගන්නා බවයි.
එමෙන්ම දරුවන්ගෙන් සියයට 43ක් පමණ ආහාර ගන්නා අවස්ථාවේදී ඩිජිටල් තිර භාවිත කරන බවද සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
ආහාර ගන්නා අවස්ථාවේදී දරුවන්ගේ අවධානය ඩිජිටල් තිර වෙත යොමු වීම ඔවුන්ගේ ආහාර ගැනීමේ පුරුදු කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
දරුවන්ගේ මුඛ සෞඛ්‍යය සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන් ඔහු, දරුවන්ගෙන් සියයට 80ක් පමණ දිනකට දෙවරක් දත් මදින බවද සඳහන් කළේය.
මේ අතර, දරුවන් රැකබලා ගන්නා වැඩිහිටියන් සහ දරුවන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන්ද සමීක්ෂණයේදී කරුණු අනාවරණය වී තිබේ.
දරුවන් රැකබලා ගන්නා පුද්ගලයන්ගෙන්, එනම් දෙමාපියන් හෝ පෙර පාසල්වල සේවය කරන පුද්ගලයන්ගෙන් සියයට 56ක් පමණ දරුවන් සමඟ කටයුතු කිරීමේදී කෝපයට පත්වන තත්ත්වයක් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
දරුවන්ගේ රැකවරණය සහ වර්ධනය සඳහා පියවරුන්ගේ සහභාගීත්වයද ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ඔහු, දරුවන් සමඟ සමීපව කටයුතු කරන පියවරුන්ගේ ප්‍රතිශතය සියයට 53ක් පමණ වන බව සඳහන් කළේය.
පූර්ව ළමා වියේ දරුවන්ගේ ශාරීරික, මානසික හා සමාජීය සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා දෙමාපියන්, පෙර පාසල් ගුරුවරුන් සහ දරුවන් රැකබලා ගන්නා අනෙකුත් පාර්ශ්වයන්ගේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.
(මූලාශ්‍රය අද දෙරණ)
