
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක්-අන්ද්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ ආපදා ප්‍රතිචාර සහ පුනරුත්ථාපන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ‘දිත්වා’ සුළි කුණාටුවෙන් (Cyclone Ditwah) පසු ‘මානූෂීය ප්‍රමුඛතා සැලැස්ම’ යටතේ ලබාදුන් සහනාධාර ඇතුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබුණු සහය සහ ඉදිරියේදී ආපදා සූදානම හා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ බවයි.
එසේම, සුළි කුණාටු ආපදා තත්වයට ප්‍රතිචාර දැක්වීමේදී ලබාගත් ප්‍රධාන පාඩම් සමාලෝචනය කළ දෙපාර්ශ්වය, බලපෑම් මත පදනම් වූ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, අංශ අතර සම්බන්ධීකරණය, සාධාරණ ලෙස සහනාධාර බෙදා හැරීම, ප්‍රදේශීය මට්ටමේ සූදානම සහ ආපදා කළමනාකරණ යාන්ත්‍රණයන් තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.
මීට අමතරව එල් නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි දේශගුණික අවදානම්, ජල හිඟය සහ ඊට අදාළ සමාජ-ආර්ථික අභියෝග පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
දේශගුණික හා කාලගුණික ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම ඇතුළුව, ශ්‍රී ලංකාවේ ආපදා සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ ශක්‍යතාවන් නැංවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව මාක්-අන්ද්‍රේ ෆ්‍රැන්චේ මහතා නැවත අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන නිරන්තර සහයෝගය අගය කළ ආරක්ෂක ලේකම් තුයියකොන්තා මහතා, ආපදා සූදානම, හදිසි ප්‍රතිචාර දැක්වීම සහ ආපදා ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා වූ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) සහ එහි පූර්ව සූදානම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ චතුර ලියනආරච්චි යන මහත්වරුද සහභාගී වූහ.
