
2019 වසරේ පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාව සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (22) ප්රකාශයට පත් කිරීමට නියමිතය.
අධිචෝදනා 23,270ක් යටතේ ගොනු කර ඇති මෙම නඩුව, කොළඹ මහාධිකරණයේ ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ වසර පහකට ආසන්න කාලයක් විභාගයට ගෙන තිබේ. විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ, රාමනාථන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් එම විනිසුරු මඬුල්ල සමන්විත වේ.
2019 පාස්කු ඉරිදා කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්රදේශවල දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර සම්බන්ධයෙන් කුමන්ත්රණය කිරීම, ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව පවරා තිබේ.
දීර්ඝ නඩු විභාගය අතරතුර පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර, නඩුව විභාග වෙමින් පැවති කාලය තුළ එක් විත්තිකරුවෙකු මියගොස් තිබේ. නඩුවේ සාක්ෂි විභාග කිරීම පසුගිය අගෝස්තු 24 වැනිදා අවසන් කිරීමෙන් අනතුරුව අද තීන්දුව ප්රකාශයට පත් කිරීමට නියම කෙරිණි.
මේ අතර, තීන්දුව ප්රකාශයට පත් කරන අද දිනයේ අලුත්කඩේ අධිකරණ පරිශ්රය ආශ්රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද අනියුක්ත කර ඇති බව සඳහන්ය.
පාස්කු ඉරිදා ප්රහාර මාලාව සම්බන්ධයෙන් මේ වනවිටත් වෙනත් නඩු සහ අධිකරණ ක්රියාමාර්ග කිහිපයක් පැවැත්වෙන අතර, මෙම නඩුවේ අද ලබාදෙන තීන්දුව ඒ අතරින් ප්රධාන නඩු කටයුත්තක තීන්දුවක් ලෙස සැලකේ.
