22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය අද (22) පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් නිල වශයෙන් සභාවට දැනුම් දී ඇත.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය නොවන බැවින්, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීම අරමුණු කරමින් අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක්ද ගොනු කර තිබූ අතර, ඒවා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කර තිබුණි.

මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු වෙන්කර තිබේ. සැප්තැම්බර් 24 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වාත්, සැප්තැම්බර් 25 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වාත් අදාළ විවාදය පැවැත්වීමට නියමිතය.

 

Social Sharing
නවතම පුවත්