
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක් වූ රිදීගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට පසුගිය වසරේ නොවැම්බර් මසදී ඇති වූ “දිත්වා” සුළි කුණාටුවෙන් විශාල වශයෙන් හානි සිදුවිය.
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණදෙනියාවල, පොල්ගොල්ල ගමේ පදිංචිව සිටින පී.ජී. සමරපාල මහතාගේ නිවස අසල පිහිටා ඇති කඳු බෑවුම නාය ගොස්, නිවසේ පිටුපස බිත්තිය දක්වා පස් කන්දක් පැමිණ තිබුණි.
අදාළ අංශ දැනුවත් කොට හැකි ඉක්මනින් එම පස් කන්ද ඉවත් කළ අතර, එසේ නොකළේ නම් නිවසට දැඩි හානියක් සිදුවිය හැකිව තිබුණි. පිරිසිදු කිරීම් කටයුතු සඳහා රජයෙන් ආධාර මුදලක් ලැබුණු අතර, නිවසට ගලා ආ පස් කන්ද ඉවත් කිරීම සඳහා එම මුදල් ප්‍රමාණය යොදාගෙන ඇත.
කෙසේ වුවද, ඉදිරියේ ඇති විය හැකි සාමාන්‍ය වර්ෂාවකදී වුවද ඉවත් කළ පස් කන්දේ ඉතිරි කොටස් සමඟ කඳු බෑවුම නැවත නිවසට පාත්වීමේ අවදානමක් ඇති අතර, ඒ සඳහා නිවස පිටුපසින් ආරක්ෂිත බැම්මක් ඉදිකර ගත යුතුව ඇත.
මේ සඳහා රජයෙන් ලබාදෙන ලක්ෂ පහක මුදල ලබාගත හැකි බව වසමේ ග්‍රාම නිලධාරීවරයා විසින් සමරපාල මහතාව දැනුවත් කර ඇති අතර, ඒ අනුව අදාළ අයදුම්පත් ඔහුගෙන්ම ලබාගෙන, වැය ඇස්තමේන්තුවද සමඟ එය සම්පූර්ණ කර ඔහුගේ අත්සන ලබාගැනීමට ගිය විට ඔහු ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ සම්බන්ධයෙන් සහනයක් පතා රිදීගම ප්‍රාදේශීය ලේකම්වරයා හමුවූ විට, ඔහු මේ පිළිබඳව ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කර ඇති අතර, ඒ අනුව ඔහුගේ මැදිහත්වීම අවසන් කොට තිබේ.
සමරපාල මහතාට වඩා අඩු හානි සිදුව ඇති අවට පවුල් සඳහා ලක්ෂ පහේ ආධාර මුදල ලබා දී තිබියදී තමන්ට පමණක් එම ආධාර මුදල ලබාගැනීමට නොහැකි වීම බලවත් අසාධාරණයක් බව පවසමින් සමරපාල මහතා මේ වන විට කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
එම මධ්‍යස්ථානය විසින් මේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලුම්පතක් යොමු කිරීම කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
කුරුණෑගල අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0768182358
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
