ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර සමෘද්ධි තනතුරු ලබාගත් නිලධාරීන් 360ක් ගැන විගණන වාර්තාවෙන් අනාවරණයක්!

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු සඳහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර පත්වීම් ලබාගත් නිලධාරීන් 360 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

එම නිලධාරීන් අතර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුද ඇතුළත් බව වාර්තාවේ දැක්වේ.

ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර පත්වීම් ලබාගෙන ඇති බව තහවුරු වූ නිලධාරීන් අතරින් 77 දෙනෙකු මේ වන විට සේවයෙන් පහ කර ඇති බවත්, තවත් 20 දෙනෙකු නීත්‍යනුකූලව වන්දි ලබාගැනීමේ එකඟතාව මත සේවයෙන් ඉවත්ව ඇති බවත් ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අතරින් 13 දෙනෙකු සහ විශ්‍රාම ලැබූ නිලධාරීන් දෙදෙනෙකු ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර පත්වීම් ලබාගෙන තිබූ බවටද විගණන අංශය නිරීක්ෂණය කර ඇත.

ව්‍යාජ ප්‍රතිඵල සටහන් සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනත මෙන්ම ආයතන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සඳහන්ව තිබුණද, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද විගණන වාර්තාව පෙන්වා දෙයි.

රාජ්‍ය සේවයේ තනතුරකට පත් කිරීමේදී පත්කිරීමේ බලධාරියා වෙත සාවද්‍ය තොරතුරු හෝ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බව අනාවරණය වුවහොත්, එම පත්වීම වහාම අවලංගු කර තනතුර ශූන්‍ය හා බල රහිත කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටි රීති සංග්‍රහයේ සඳහන් වන බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

එමෙන්ම, එවැනි නිලධාරීන් වෙත රජය විසින් වැටුප් හා දීමනා ලෙස ගෙවා ඇති සියලුම මුදල් ඔවුන්ගෙන් අය කරගත යුතු බවද අදාළ නීතිරීතිවල දැක්වෙන බව වාර්තාවේ සඳහන් වේ.

මෙම තොරතුරු ඇතුළත් වන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවේ වන අතර, එම වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Social Sharing
නවතම පුවත්