
ලූනම ප්‍රදේශයේ නේවාසික කලාපයක පවත්වාගෙන යන වාහන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් 2019 වසරේ සිට පවතින පාරිසරික හා මහජන පීඩාකාරී තත්ත්වයක් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යළි යොමුව තිබේ.
ලූනම ප්‍රදේශයේ පදිංචි එස්.ඒ.එල්. රෝෂාන් හරිත් මහතා පසුගියදා මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගකිව යුතු රාජ්‍ය ආයතන කිහිපයකට ලිඛිතව පැමිණිලි කරමින් පෙන්වා දී ඇත්තේ, අදාළ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයෙන් නිකුත් වන බව කියන වාහන තීන්ත හා රසායනික දුමාරය, අධික ශබ්දය සහ ප්ලාස්ටික් හා පොලිතින් දහනය කිරීමෙන් ඇතිවන දුමාරය හේතුවෙන් තම නිවස ඇතුළු පවුලේ සාමාජිකයන් දැඩි පීඩාවකට පත්වන බවයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් 2019 වසරේ සිට මධ්‍යම පරිසර අධිකාරිය, අම්බලන්තොට ප්‍රාදේශීය සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ දකුණු පළාත් බලධාරීන් වෙත අවස්ථා ගණනාවකදී පැමිණිලි කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
විශේෂත්වය වන්නේ එම පැමිණිලිවලින් අනතුරුව අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණ සිදුකර, පවතින බව කියන පාරිසරික හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට උපදෙස් ලබාදී තිබීමය.
එහෙත් එම අඩුපාඩු සම්පූර්ණයෙන් නිවැරදි කර ඇති බව තහවුරු කර ගැනීමකින් තොරව අදාළ ස්ථානය සඳහා වාර්ෂික වෙළඳ බලපත්‍ර සහ පාරිසරික බලපත්‍ර නිකුත් කිරීම හෝ අලුත් කිරීම සිදුවන්නේ කෙසේද යන්න බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.
පැමිණිලිකරු පවසන්නේ, වසර ගණනාවක් පුරා රාජ්‍ය ආයතන වෙත පැමිණිලි කර, පරීක්ෂණ පවත්වා අඩුපාඩු පෙන්වාදී තිබියදීත්, ඒවා නිවැරදි කිරීමකින් තොරව බලපත්‍ර අලුත් කිරීම හේතුවෙන් තම පවුල අඛණ්ඩව අගතියට පත්වන බවයි. තම පැමිණිලි සම්බන්ධ වීඩියෝ දර්ශන සහ වෛද්‍ය ලේඛනද තමන් සතුව පවතින බව ඔහු පෙන්වා දෙයි.
මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව වන්නේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට ඇති අයිතිය නොව, එවැනි ව්‍යාපාරයක් පවත්වාගෙන යන විට අවට ජනතාවට සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් අවම කර ඇති බව තහවුරු කිරීමෙන් පසුව පමණක් අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ වගකීම රාජ්‍ය ආයතන විසින් ඉටු කරන්නේද යන්නයි.
වසර හතකට ආසන්න කාලයක් පුරා පැවති මෙම ගැටලුව සම්බන්ධයෙන් සියලු පැමිණිලි සහ පරීක්ෂණ වාර්තා නැවත සලකා බලා, ස්වාධීන පරීක්ෂණයක් සිදුකර සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස රෝෂාන් හරිත් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ජනතා පැමිණිල්ලක් ලිපිගොනුවකට එක් කිරීමෙන් රාජ්‍ය වගකීම අවසන් නොවේ. එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජනතාවගේ සෞඛ්‍යය, පරිසරය සහ සාමකාමී ජීවිතයට ඇති අයිතිය ආරක්ෂා වන පරිදි ගැටලුවට විසඳුමක් ලබාදීමය.
ඔබ හෝ ඔබ දන්නා පුද්ගලයෙකු මෙවැනි පාරිසරික ගැටලුවක්, මහජන පීඩාවක් හෝ ඒ හා සම්බන්ධ අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
වසර ගණනාවක් පුරා පැමිණිලි කළත් විසඳුමක් නොලැබුණු මෙවැනි ගැටලු සම්බන්ධයෙන් ඔබගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීති ආධාර සහ මඟපෙන්වීම ලබාගන්න.
📍 හම්බන්තොට අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා
📞 හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය 0769692424
ඔබගේ පැමිණිල්ල නිසි පරිදි ඉදිරිපත් කර, ඔබට හිමි අයිතිවාසිකම් වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාගන්න.
