මීගමුව බන්ධනාගාරයේ මියගිය 21න් 17ක්ම 54 වැනි වගන්තියේ රැඳවියන්! – නීතිඥ ධනුෂ්ක සිල්වා

දුලාංජලී අබේරත්න දින 390ක අතිශය දුෂ්කර සිරගත කිරීමේ කාලය පිළිබඳ විස්තර කෙරෙන නවතම වාර්තා චිත්‍රපටය වන “54” හි මංගල දර්ශනය අද (10) කොළඹ සන්ධාර කැෆේහිදී සවස 3.00ට පැවැත්විණි.

මෙම චිත්‍රපටය සඳහා පදනම් කරගත් වස, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතේ (PODDO) 54 වැනි වගන්තිය ද්වේෂසහගත ලෙස අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් දුලාංජලී මුහුණදුන් ශෝකජනක සිදුවීම මෙහිදී විස්තර කෙරේ.

PODDO

මෙම මංගල දර්ශනයෙන් අනතුරුව 54 වැනි වගන්තිය සම්බන්ධයෙන් පැවති විද්වත් කතිකාවට එක් වූ නීතිඥ ධනුෂ්ක ද සිල්වා මහතා, වර්තමානය වන විට බන්ධනාගාරවල පවතින තදබදය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, සිවිල් සමාජය තුළ ත්‍රස්ත විරෝධී පනත වැනි පනත් සම්බන්ධයෙන් කතාබහක් පැවතියද, 54 වැනි වගන්තිය වැනි මර්දනකාරී නීති පිළිබඳව සාමාන්‍ය ජනතාවට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බවයි.

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 21 දෙනාගෙන් 17 දෙනෙකුම 54 වැනි වගන්තිය යටතේ චෝදනා ලැබූ පුද්ගලයන් බවද ඔහු ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පොලීසිය වර්තමානයේ පුද්ගලයාගේ ශරීර ලක්ෂණ දෙස බලමින් චෝදනා ගොනු කරන තත්ත්වයක් පවතින බවයි.

වර්තමානයේ පුද්ගලයෙකු කොපමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගතකරන්නේද යන්න තීරණය කිරීමට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් පවතින බවද නීතිඥ ධනුෂ්ක ද සිල්වා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

2022 වැනි සංශෝධනයකින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 5 සිට ග්‍රෑම් 10 දක්වා ඉහළ දැමීමෙන් පසු, පොලීසිය විසින් ග්‍රෑම් 10කට වඩා වැඩි ප්‍රමාණයක් දමමින් පුද්ගලයන් රිමාන්ඩ් කරන බවත්, එය බන්ධනාගාර තදබදය ඉහළ යාමට ප්‍රමුඛතම හේතුවක් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

දැන් නව සංශෝධනය සමඟ එම ප්‍රමාණය ග්‍රෑම් 100 දක්වා ඉහළ දැමීමෙන් තත්ත්වය තවත් බරපතළ වී ඇති බවත්, සාමාන්‍ය පුද්ගලයෙකු සතුව එපමණ ප්‍රමාණයක් තිබිය හැකිද, රස පරීක්ෂණ වාර්තාවල සඳහන් වන ප්‍රමාණයන් කොපමණ වේද යන ගැටලු නැවත පැනනඟින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම 54 වැනි වගන්තිය ත්‍රස්ත විරෝධී පනතට වඩා භයානක තත්ත්වයක් බවත්, මෙවැනි වාර්තා චිත්‍රපටයක් සහ සාකච්ඡාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයට ස්තූතිය පුද කරන බවත් නීතිඥ ධනුෂ්ක ද සිල්වා මහතා සඳහන් කළේය.

Social Sharing
අවකාශය නවතම