
වසර හයකට පෙර 13 හැවිරිදි පාසල් දැරියකට අඛණ්ඩව ලිංගික අතවර කළ බව කියන ඥාති සහෝදර සහෝදරියන් හත්දෙනකු ඇතුළු පුද්ගලයන් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් මත සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව එම අධිකාරිය සඳහන් කරයි.
පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ත්රිරෝද රථ රියැදුරන් පස්දෙනෙකු සිටින බවයි. ස්ත්රී දූෂණයට ආධාර අනුබල දුන් බව කියන ඥාති සහෝදරියන් තිදෙනෙකුද සැකකරුවන් අතර සිටින බව පොලිසිය පවසයි.
අතවරයට ලක් වූ දැරිය මේ වන විට 18 හැවිරිදි තරුණියක වන අතර, 2020 දෙසැම්බර් මාසයේ සිට 2026 පෙබරවාරි මාසය දක්වා කාලය තුළ ඇයට මෙම අතවර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මාතලේ ප්රදේශයේ පදිංචිව සිටි ඇය පාසල් වයසේ පසුවන අවස්ථාවේදී සමීප ඥාතීන් සහ පිටස්තර පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් ලිංගික අතවරයට ලක් කර ඇති බවට පැමිණිල්ලෙන් කරුණු අනාවරණය වී තිබේ.
මාතලේ කළුදාවල ප්රදේශයේ පිහිටි කුලී නිවසකදී මෙම අතවර සිදුව ඇති බවත්, එම නිවස අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අයත් එකක් බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ ලිංගික අපයෝජනය, ස්ත්රී දූෂණයට ආධාර අනුබල දීම සහ රංචු ගැසී ස්ත්රී දූෂණය කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිමි සැකකරුවන් මාතලේ, අකුරණ සහ උකුවෙල ප්රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 25, 26, 38 සහ 52 අතර පසුවන බව සඳහන් වේ. සැකකාරියන් වයස අවුරුදු 20, 22 සහ 31 යන වයස්වල පසුවන්නියන් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුර විමර්ශන පවත්වයි.
