ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය රුපියල් ට්‍රිලියන 33කට ආසන්න වෙයි!

2026 ජූනි 30 වන විට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 97.952ක් හෙවත් රුපියල් ට්‍රිලියන 32.977ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

එම වාර්තාවට අනුව, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පමණක් ඩොලර් බිලියන 95.047ක් හෙවත් රුපියල් ට්‍රිලියන 31.999ක් වේ.

මීට අමතරව, පළාත් සභා සහ පළාත් ආයතන ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 20ක් වන අතර, රජයේ ඇපකර මත රාජ්‍ය ව්‍යවසායන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.885ක් ලෙස වාර්තා වේ.

දේශීය ණය ඩොලර් බිලියන 57ක්

ජූනි මාසය අවසන් වන විට මධ්‍යම රජයේ දේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 57.039ක් හෙවත් රුපියල් ට්‍රිලියන 19.203ක් වී තිබේ. එයින් ඩොලර් බිලියන 47.732ක් භාණ්ඩාගාර බැඳුම්කර වන අතර, ඩොලර් බිලියන 7.045ක් භාණ්ඩාගාර බිල්පත් ලෙස සටහන් වේ.

විදේශ ණය ඩොලර් බිලියන 38 ඉක්මවයි

2026 පළමු කාර්තුව අවසානයේ ඩොලර් බිලියන 37.468ක් වූ මධ්‍යම රජයේ විදේශ ණය ප්‍රමාණය, දෙවන කාර්තුව අවසන් වන විට ඩොලර් බිලියන 38.008ක් දක්වා ඉහළ ගොස් ඇත. එය මාස තුනක කාලයක් තුළ ඩොලර් මිලියන 540ක පමණ වැඩිවීමකි. මෙම විදේශ ණය අතර බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 14.802ක්, වාණිජ ණය ඩොලර් බිලියන 12.409ක් සහ ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.797ක් ඇතුළත් වේ.

චීනයට ඩොලර් බිලියන 5කට වැඩි ණයක්

ද්විපාර්ශ්වික ණය හිමියන් අතරින් ශ්‍රී ලංකාව වැඩිම ණය මුදලක් ගෙවීමට ඇති රට ලෙස චීනය සඳහන් වන අතර ඒ අනුව චීනයට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.0067ක් වන අතර, ජපානයට ඩොලර් බිලියන 2.2727ක් සහ ඉන්දියාවට ඩොලර් මිලියන 853.9ක් ගෙවීමට තිබේ.

බහුපාර්ශ්වික ණය හිමියන් අතර ආසියානු සංවර්ධන බැංකුවට ඩොලර් බිලියන 6.8851ක්, ලෝක බැංකුවට ඩොලර් බිලියන 4.6662ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඩොලර් බිලියන 2.6152ක් ගෙවීමට ඇති බව වාර්තාවේ දැක්වේ.

ස්වෛරී බැඳුම්කර යටතේ ඩොලර් බිලියන 10ක්

ශ්‍රී ලංකාවේ බාහිර වාණිජ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12.4091ක් වන අතර, එයින් ඩොලර් බිලියන 10.0071ක් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර (ISBs) යටතේ පවතී. තවත් ඩොලර් බිලියන 2.402ක වාණිජ ණයක් චීනයට අදාළ ආසියානු සංවර්ධන බැංකු වාරික ණය පහසුකම් යටතේ පවතින බවද වාර්තාව සඳහන් කරයි.

දෙවන කාර්තුවේ ණය සේවාකරණයට රුපියල් බිලියන 2,698.6ක්

2026 දෙවන කාර්තුව තුළ රජයේ මුළු ණය සේවාකරණ ගෙවීම් රුපියල් බිලියන 2,698.6ක් වී තිබේ. එයින් රුපියල් බිලියන 2,441.6ක් දේශීය ණය සඳහාත්, රුපියල් බිලියන 257ක් විදේශ ණය සඳහාත් ගෙවා ඇත. විදේශ ණය සඳහා ගෙවූ මුදල ඩොලර්වලින් සැලකීමේදී ණය වාරික ලෙස ඩොලර් මිලියන 573.9ක් සහ පොලී ලෙස ඩොලර් මිලියන 230.4ක් ගෙවා ඇති අතර, ඒ අනුව දෙවන කාර්තුවේ සමස්ත බාහිර ණය සේවාකරණ ගෙවීම ඩොලර් මිලියන 804.3ක් වී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය තවමත් සම්පූර්ණයෙන් අවසන් නැහැ

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තවමත් සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බවද වාර්තාව පෙන්වා දෙයි. නිල ණය හිමියන්ගේ කමිටුව, චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව සහ ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ප්‍රධාන පියවර රැසක් අවසන් කර තිබේ.

2024 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරුව සාර්ථකව අවසන් කර ඇති අතර, ඊට 98%ක පමණ සහභාගීත්වයක් ලැබී තිබුණි.

කෙසේ වෙතත්, තවත් රටවල් 13කට ගෙවීමට ඇති ණය සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මුලාශ්‍රය Ceylon Wire

Social Sharing
නවතම පුවත්