
මේ දවස්වල සමාජ මාධ්‍යවල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ලස්සන කතාවක් පැතිරෙනවා. ඒ කතාව කියන අය ඇස් ලොකු කරලා කියන්නේ, ආණ්ඩුව විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරලා නඩු ඉක්මනින් අවසන් කරන්න හදන බවත්, එහෙම වුණොත් නීතීඥවරුන්ගේ නඩු සහ ආදායම අඩුවන නිසා ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ සංශෝධනයට විරුද්ධ වන බවත්ය.
කතාව අහගෙන ඉන්නකොට නම් වැඩේ හරිම ලස්සනයි. එක පැත්තක ජනතාවගේ නඩු ඉක්මනින් අවසන් කරන්න හදන ආණ්ඩුවක්. අනෙක් පැත්තේ නඩු කල් දමාගෙන මුදල් හොයන්න ඒකට බාධා කරන නීතීඥවරු පිරිසක්. අපේ රටේ නඩු ප්‍රමාදය ගැන ජනතාව අතර දැනටමත් විශාල කලකිරීමක් තියෙන නිසා, ඒ ප්‍රමාදය නීතීඥවරුන්ගේ ආදායමත් එක්ක සම්බන්ධ කරලා කිව්වාම කතාව ඉතා පහසුවෙන් විකුණන්නත් පුළුවන්.
හැබැයි ප්‍රශ්නයක් තියෙනවා.
කතාවක් ලස්සනට කියන්න පුළුවන් වීමයි, ඒ කතාව නීතියට සහ ඇත්ත කරුණුවලට ගැළපීමයි කියන්නේ එකම දෙයක් නෙමෙයි. ඒ නිසා අපි දේශපාලන වේදිකාවල කියන කතා සහ සමාජ මාධ්‍යයේ විවිධ විග්රහ ටිකකට පැත්තකින් තියලා, 2026 අගෝස්තු 7 දින ප්‍රකාශයට පත්කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ ඒ සමඟ ප්‍රකාශයට පත්කළ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත මුල් කරගෙන මේ කතාව ඇත්තද කියලා බලමු.
කෙටුම්පත් දෙකම ඉතාමත් කෙටියි. 22 වන සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් ඉහළ දැමීමට යෝජනා කරනවා. අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් වයස අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ අගවිනිසුරු ධුරයේ වසර හයක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළඹෙන දිනය විශ්‍රාම දිනය බවට පත්කරන අතර, අභියාචනාධිකරණයේ අනෙකුත් විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමටත් යෝජනා කරනවා.
අධිකරණ සංවිධාන සංශෝධනයෙන් මහාධිකරණ විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කර, මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙසත්, අනෙකුත් විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62ක් ලෙසත් නියම කිරීමට යෝජනා කරනවා.
අපි මෙතැන කතා කරන කාරණයට අදාළ ප්‍රධාන වෙනස්කම් එච්චරයි.
මේ කෙටුම්පත් දෙකේ කිසිම තැනක පුරවැසියෙකුට නඩුවක් පැවරීමට දැනට තිබෙන අයිතියක් අහෝසි කරන්නේ නැහැ. නඩු නිමිත්තක් ඉවත් කරන්නේ නැහැ. දිසා අධිකරණයක, මහේස්ත්‍රාත් අධිකරණයක, මහාධිකරණයක, අභියාචනාධිකරණයක හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයක් අඩු කරන්නේත් නැහැ.
අභියාචනයක්, ප්රතිශෝධන ඉල්ලීමක්, රිට් ආඥාවක් හෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට තිබෙන හැකියාව සීමා කරන්නෙත් නැහැ. නීතීඥවරයෙකු මාර්ගයෙන් පෙනී සිටීමට දැනට තිබෙන හැකියාව අඩු කරන්නෙත් නැහැ. නඩු අධිකරණයට පැමිණීම අඩු කිරීම සඳහා අලුතින් අනිවාර්ය සමථකරණයක් හෝ වෙනත් විකල්ප ආරවුල් විසඳීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්නෙත් නැහැ.
එහෙම නම් නීතීඥවරුන්ට අලුතින් ලැබෙන නඩු අඩුවෙන්නේ කොහොමද?
කතාවේ පැටලීම තියෙන්නේ එතැන.
“අලුතින් අධිකරණයට පැමිණෙන නඩු සංඛ්‍යාව”, “දැනට අධිකරණවල ගොඩගැසී තිබෙන නඩු සංඛ්‍යාව” සහ “එක් නඩුවක් අවසන් කිරීමට ගතවන කාලය” කියන්නේ එකිනෙකට වෙනස් කාරණා තුනක්.
අලුතින් අධිකරණයට පැමිණෙන නඩු සංඛ්‍යාව තීරණය වෙන්නේ රටේ ඇතිවන ඉඩම් ආරවුල්, මුදල් ගනුදෙනු, ගිවිසුම් කඩකිරීම්, පවුල් ආරවුල්, අපරාධ, රාජ්‍ය නිලධාරීන්ගේ තීරණ, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ තවත් බොහෝ නීතිමය හේතු මතයි. නීතීඥවරයෙකුට නඩුවක් ලැබෙන්නේ විනිසුරුවරයා නඩුව ප්‍රමාද කරන නිසා නෙමෙයි. පුරවැසියෙකුට විසඳාගත යුතු නීතිමය ගැටලුවක් ඇතිවන නිසා. මේ කෙටුම්පත් දෙකෙන් එවැනි ආරවුලක් එකක්වත් නැති කරන්නේ නැහැ.
එකම නඩුව අවුරුදු අටක් අධිකරණයේ තිබුණා කියලා නීතීඥවරයාට නඩු අටක් ලැබෙන්නේ නැහැ. තිබෙන්නේ එකම නඩුවක්. වැඩිවෙන්නේ ඒ නඩුව වෙනුවෙන් අධිකරණයට පැමිණීමට සිදුවන දින ගණන සහ නඩු කියන මනුස්සයාට යුක්තිය ලැබීමට ගතවන කාලය විතරයි.
නඩුවක් ඉක්මනින් අවසන් වුණොත් ඒ වෙනුවෙන් නැවත නැවත පෙනී සිටීමට සිදුවන වාර ගණන අඩුවෙන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරන්න අවශ්‍ය නැහැ. හැබැයි එක් නඩුවකට පෙනී සිටින වාර ගණන අඩුවීමත්, නීතීඥවරයෙකුට අලුතින් ලැබෙන නඩු සංඛ්‍යාව අඩුවීමත් එකම දෙයක් නෙමෙයි.
ඒ වගේම ප්‍රායෝගිකව නඩු කියන මිනිස්සු හොඳින්ම දන්නා තවත් දෙයක් තියෙනවා. නඩුවක ඇප ලබාගැනීම, පැමිණිල්ලක්, උත්තරයක් හෝ පෙත්සමක් ඇතුළු ලේඛන සකස් කිරීම, නඩු විභාගය, සාක්ෂිකරුවන් මෙහෙයවීම සහ හරස් ප්‍රශ්න ඇසීම වැනි අවස්ථාවල අයකරන වෘත්තීය ගාස්තුවම, ඊළඟ දිනයක් ලබාගැනීමට හෝ වාර්තාවක් කැඳවීමට නඩුව සාමාන්‍යයෙන් කැඳවන සෑම දිනකම නැවත අය කරන්නේ නැහැ.
වෘත්තීය ගාස්තු පිළිබඳ එකඟතා නඩුවෙන් නඩුවටත්, නීතීඥවරයාගෙන් නීතීඥවරයාටත් වෙනස් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල සාමාන්‍ය කැඳවීම් දිනයකට පෙනී සිටීමේ ගාස්තුවක් අය වෙන්නත් පුළුවන්. හැබැයි ඇප ලබාගැනීමට, ලේඛන සකස් කිරීමට හෝ නඩුව විභාග කිරීමට අයකරන ගාස්තුවම සෑම සාමාන්‍ය කැඳවීම් දිනයකම නැවත අය කරනවා කියන එක සාමාන්‍ය රීතියක් නෙමෙයි. ඒ බව නීතීඥවරුන්ටත් වඩා හොඳට දන්නේ වසර ගණනාවක් නඩු කියන මිනිස්සු.
ඒ නිසා නඩුවක් ප්‍රමාද වන සෑම දිනයක්ම නීතීඥවරයාගේ සාක්කුවට වැටෙන තවත් මුදල් ගොඩක් විදියට පෙන්වලා ගණන් හදන එක ප්‍රායෝගික අධිකරණ ක්‍රියාවලියට ගැළපෙන්නේ නැහැ.
එහෙම කියලා නඩුවක් ඉක්මනින් අවසන් වීමෙන් නීතීඥවරයෙකුගේ ආදායමට කිසිම අවස්ථාවක කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියලා කියන්නත් බැහැ. පෙනී සිටින දින ගණන, ගාස්තු අය කරන ආකාරය සහ නඩුවේ ස්වභාවය අනුව යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි එවැනි බලපෑමක් ඇතිවිය හැකි බවත්, ඒ නිසාම නීතීඥ සංගමය මේ සංශෝධනයට විරුද්ධ වන බවත් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක්.
ඒ වගේම නඩු ප්‍රමාදයට නීතීඥවරුන්ගෙන් කිසිම අවස්ථාවක දායකත්වයක් ලැබෙන්නේ නැහැ කියලා කියන්නත් බැහැ. අනවශ්‍ය කල් ඉල්ලීම්, නිසි සූදානමක් නැතිව අධිකරණයට පැමිණීම හෝ වෙනත් අඩුපාඩු නිසා යම් අවස්ථාවල ප්‍රමාදයන් ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් 22 වන සංශෝධනයට නීතීඥ සංගමය විරුද්ධ වෙන්නේ “නඩු බිස්නස් එක” රැකගන්න කියලා ඔප්පු වෙන්නේ නැහැ.
ඊළඟට අලුත් විනිසුරුවරුන් පහළොස්දෙනාගේ කතාව බලමු.
අභියාචනාධිකරණයේ අනෙකුත් විනිසුරුවරුන්ගේ උපරිමය 19 සිට 24 දක්වා වැඩි කළා කියලා පනත සම්මත වූ පසුදා අලුත් විනිසුරුවරුන් පස්දෙනෙකු පත්වෙන්නේ නැහැ. මහාධිකරණ විනිසුරුවරුන්ගේ උපරිමය 110 සිට 120 කළා කියලා මහාධිකරණ විනිසුරුවරුන් දහදෙනෙකු ඉබේම පත්වෙන්නෙත් නැහැ.
කෙටුම්පත්වල භාවිත කරලා තියෙන්නේ “උපරිමයෙන්” කියන අර්ථය දෙන “not more than” කියන වචන. ඒ කියන්නේ ඒ ගණන දක්වා විනිසුරුවරුන් පත් කරන්න නීතිමය ඉඩ ලබාදෙනවා කියන එක විතරයි. ඒ සියලු තනතුරු අනිවාර්යයෙන් පුරවන්න ඕන කියන එක නෙමෙයි.
මේක තවත් හොඳින් පැහැදිලි වෙන්නේ දැනට තියෙන තත්ත්වය බැලුවාම.
22 වන සංශෝධනය ගෙන එන අවස්ථාව වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් තිබුණා. ඒ අතරින් පළමු ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව ඇතිවී තිබුණේ 2025 ජුනි 20 දින සිටයි.
ඉහළ අධිකරණවල පත්වීම් සඳහා ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගය සහ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතුළත් ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් තියෙනවා. එහෙත් දැනටමත් පැවති පුරප්පාඩු පිරවීම විධායකයේ පාර්ශ්වයෙන් ප්‍රමාද වී තිබුණු තත්ත්වයක් ඇතුළේ, මේ කෙටුම්පත් මගින් අලුතින් පත්කිරීමට නීතිමය ඉඩ ලබාදෙන තනතුරු පුරවන්නේ කවදාද සහ කොහොමද කියන එක සැබෑ ප්‍රශ්නයක්.
පත්වීම් කොපමණ කරනවාද, ඒවා කවදා කරනවාද, වැඩිවන විනිසුරු සංඛ්‍යාවෙන් අලුතින් විනිශ්චයාසන කොපමණ ක්‍රියාත්මක කරනවාද, ඒ සඳහා අවශ්‍ය අධිකරණ ශාලා, කාර්ය මණ්ඩල සහ අනෙකුත් පහසුකම් සපයන්නේ කොහොමද කියන කිසිම දෙයක් මේ කෙටුම්පත් දෙකෙන් නියම කරන්නේ නැහැ.
ඒ නිසා “22 සම්මත කළාම අලුතින් විනිසුරුවරුන් පහළොස්දෙනෙකු පත්වෙලා නඩු ටික ඉක්මනින් අවසන් වෙනවා” කියන එක පනත් කෙටුම්පත්වල තියෙන දෙයක් නෙමෙයි. ඒ සියල්ල ඉදිරියේදී ඒ විදියටම සිදුවෙයි කියලා කරන උපකල්පනයක් විතරයි.
යම් දවසක ඒ තනතුරු සියල්ලම පුරවලා, අවශ්‍ය පහසුකම් ලබාදී, වැඩි විනිශ්චයාසන සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරලා, වැඩි නඩු ප්‍රමාණයක් විභාග කළොත් දැනට ගොඩගැසී ඇති නඩු වේගයෙන් අවසන් කිරීමට හැකියාව ලැබෙන්න පුළුවන්.
එහෙම වුණොත් ඒක හොඳ දෙයක්.
හැබැයි නඩු ප්‍රමාදය අඩු කිරීම ඇත්තටම අරමුණ නම්, විනිසුරු ධුරවල උපරිමය වැඩි කිරීම ඒ සඳහා ගත යුතු එක පියවරක් විතරයි. දැනට තිබෙන පුරප්පාඩු පිරවීම, අවශ්‍ය අධිකරණ ශාලා සහ කාර්ය මණ්ඩල ලබාදීම, විනිශ්චයාසන ක්‍රියාත්මක කිරීම සහ නඩු කළමනාකරණය දියුණු කිරීමත් ඒ සමඟ සිදුවෙන්න ඕන. ඒවා නැතිව නීතියේ සඳහන් උපරිම සංඛ්‍යාව වෙනස් කළ පමණින් නඩු ගොඩ ඉබේම අඩුවෙන්නේ නැහැ.
ඇත්තටම නඩුවක් සාධාරණ කාලයක් ඇතුළත අවසන් වීම කියන්නේ නීතීඥවරයාගේ පරාජයක් නෙමෙයි. ඒක සේවාදායකයාගේ ජයග්‍රහණයක් වගේම නීතීඥවරයාටත් සැනසීමක්. නීතීඥවරයෙක් නඩුවක් භාරගත්තාම ඒක අවසන් වෙනකම්ම ඒ නඩුවේ බර හිතේ තියෙනවා. සාක්ෂි, තර්ක සහ ඊළඟට කරන්න ඕන දේ ගැන නැවත නැවත හිතන්න වෙනවා. කිසියම් හේතුවක් නිසා නඩුව තවත් මාස හයකට කල් ගියොත් ඒ බරත් තවත් මාස හයක් හිතේ තියාගෙන ඉන්න වෙනවා.
ඒ නිසා නඩුවක් ඉක්මනින් අවසන් වෙනවා කියන්නේ නඩු කියන මනුස්සයාට යුක්තිය ඉක්මනින් ලැබෙනවා වගේම නීතීඥවරයා මත තියෙන පීඩනයත් අඩුවෙනවා කියන එක. හැබැයි ඒ කිසිවකින් අලුතින් අධිකරණයට පැමිණෙන නඩු සංඛ්‍යාව අනිවාර්යයෙන් අඩුවන බවක් තහවුරු වෙන්නේ නැහැ.
නීතීඥ සංගමය මේ සංශෝධනයට විරුද්ධ වෙන්නේ නඩු අඩුවන නිසා කියන්න නම්, මුලින්ම මේ පනත් දෙකෙන් නීතීඥවරුන්ට අලුතින් ලැබෙන නඩු අඩුවන බව පෙන්වන්න ඕන. ඊට පස්සේ ඒකෙන් නීතීඥ වෘත්තියට ආර්ථික අලාභයක් සිදුවන බව පෙන්වන්න ඕන. අවසානයේ නීතීඥ සංගමයේ විරෝධයට සැබෑ හේතුව ඒ ආර්ථික අලාභය බවට සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන.
හැබැයි ඒ කතාවේ මුල් පියවරවත් මේ කෙටුම්පත් දෙකෙන් තහවුරු වෙන්නේ නැහැ. එහෙම තියෙද්දී නීතීඥ වෘත්තියට ආර්ථික අලාභයක් වෙන බවත්, නීතීඥ සංගමය විරුද්ධ වෙන්නේ ඒ අලාභය නිසා බවත් තීරණය කරලා ඉවරයි.
ඒක තර්කයක් නෙමෙයි.
කිසිම සාක්ෂියක් නැතිව අනුන්ගේ අරමුණ තමන්ට ඕන විදියට තීරණය කිරීමක්.
හැබැයි ඔය කතාව ලස්සන වචන ටිකක් දාලා, ඇස් ලොකු කරලා, හඬ ටිකක් උස් කරලා කිව්වාම ඡන්දදායකයා ටික කාලයකට රවටන්න පුළුවන්. මේ රටේ ඡන්දදායකයා ලස්සන කතාවකට කවදාවත් රැවටෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. එහෙම රැවටුණු අවස්ථා අපේ දේශපාලන ඉතිහාසයේ ඕන තරම් තියෙනවා.
හැබැයි තමන් රැවටුණු බව තේරුණාම, මහා ජනවරමක් දීපු අයවම ඊළඟ ඡන්දයේදී ගෙදර යවපු හැටිත් අපි දැකලා තියෙනවා. සමහරුන්ට ඊළඟ ඡන්දය එනකම්වත් බලයේ ඉන්න බැරිවුණු අවස්ථාත් අපේ මතකයේ තවම තියෙනවා.
මේ ලියමනෙන් 22 වන සංශෝධනය හොඳද නරකද කියලා තීරණය කරන්නේ නැහැ. ඒ ගැන තියෙන ව්‍යවස්ථාමය සහ ආයතනික විරෝධතා වෙනම කතා කරන්න ඕන.
මෙතැන කියන්නේ ඉතාමත් සරල දෙයක්.
මේ පනත් දෙකෙන් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සහ ඇතැම් අධිකරණවල සිටිය හැකි උපරිම විනිසුරු සංඛ්‍යාව වෙනස් කරනවා. හැබැයි නීතීඥවරුන්ට අලුතින් ලැබෙන නඩු සංඛ්‍යාව අනිවාර්යයෙන් අඩු කරන කිසිම විධිවිධානයක් මේ කෙටුම්පත් දෙකේ නැහැ.
ඒ නිසා 22 සම්මත වුණොත් නීතීඥවරුන්ට අලුතින් ලැබෙන නඩු අඩුවෙයි කියලා මේ කෙටුම්පත් දෙක පමණක් පදනම් කරගෙන කියන්න කිසිම පදනමක් නැහැ.
හැබැයි කෙටුම්පත්වල නැති කතා හදලා, ඇස් ලොකු කරලා ඒවා ජනතාවට විකුණන අයට, ඒ කතාවේ ඇත්ත එළියට ආපු දවසක ඡන්ද අඩුවෙයිද කියලා ඇහුවොත්?
ඒකට උත්තරය අපේ දේශපාලන ඉතිහාසය කිහිප වතාවක්ම දීලා තියෙනවා.
සටහන නීතීඥ තුසිත ජාගොඩ
