
Visual Capitalist ආයතනය විසින් නිකුත් කර ඇති ලෝක අවම වේතන සංසන්දනාත්මක වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ රටවල් 130 අතරින් ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට පත්ව තිබේ.
අන්තර්ජාතික කම්කරු සංවිධානයේ (ILO) 2024 දත්ත පදනම් කරගනිමින් සකස් කර ඇති මෙම ශ්‍රේණිගත කිරීමේදී, එක් එක් රටවල ජීවන වියදම සහ සේවකයන්ගේ ආදායමෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මිලදී ගැනීමේ හැකියාවට ගැළපෙන මාසික අවම වේතනය ඇමරිකානු ඩොලර් 200ක් ලෙස දක්වා ඇති අතර, ශ්‍රී ලංකාවට පහළින් රටවල් 10ක් පමණක් ශ්‍රේණිගත කර තිබේ.
මිලදී ගැනීමේ හැකියාව අනුව ලොව ඉහළම මාසික අවම වේතනය හිමි රට ලෙස ස්විට්සර්ලන්තය පළමු ස්ථානයට පත්ව ඇති අතර එහි අගය ඩොලර් 3,804කි. ජර්මනිය ඩොලර් 2,928ක් සමඟ දෙවැනි ස්ථානයටත්, එක්සත් රාජධානිය ඩොලර් 2,902ක් සමඟ තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ. නෙදර්ලන්තය ඩොලර් 2,876ක් සමඟ සිව්වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, අයිස්ලන්තය, නවසීලන්තය, ප්‍රංශය සහ අයර්ලන්තය පිළිවෙළින් පළමු රටවල් 10 අතරට ඇතුළත් වී තිබේ.
ආසියාවේ ඉහළම අගය වාර්තා කර ඇත්තේ දකුණු කොරියාව වන අතර, ඩොලර් 2,362ක මාසික අවම වේතනයක් සමඟ එය ලෝක ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයට පත්ව ඇත. ජපානය ඩොලර් 1,839ක් සමඟ 16 වැනි ස්ථානයේ පසුවන අතර, එක්සත් ජනපදය ඩොලර් 1,257ක් සමඟ 25 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
දකුණු ආසියාතික රටවල් අතරින් පකිස්ථානය ඩොලර් 570ක අගයක් සමඟ 68 වැනි ස්ථානයටත්, නේපාලය ඩොලර් 490ක් සමඟ 78 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය ඩොලර් 379ක් සමඟ 89 වැනි ස්ථානයටත් පත්ව තිබේ. ඉන්දියාව ඩොලර් 233ක අගයක් සමඟ 111 වැනි ස්ථානයේ පසුවන අතර, ඩොලර් 200ක් වන ශ්‍රී ලංකාවේ අගය එම අසල්වැසි රටවලට සාපේක්ෂවද පහළ අගයක් ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට පහළින් නයිජර්, භූතානය, හයිටිය, ගිනියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සියරා ලියොන්, ඝානාව, කිර්ගිස්ථානය, ගිනි-බිසව් සහ ගැම්බියාව යන රටවල් ශ්‍රේණිගත කර ඇත.
කෙසේ වෙතත්, වාර්තාවේ සඳහන් මෙම අගයන් සෘජුවම ඇමරිකානු ඩොලර්වලින් ලබන වැටුප් නිරූපණය නොකරන අතර, ඒවා එක් එක් රටවල පවතින දේශීය මිලදී ගැනීමේ හැකියාව මත පදනම්ව පරිවර්තනය කළ අගයන් වේ. එමෙන්ම බදු සහ අනෙකුත් අමතර දීමනා මෙම ගණනය කිරීම් සඳහා ඇතුළත් කර නොමැති බව වාර්තාව සඳහන් කරයි.
