වැවිලි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක්!

වැවිලි ප්‍රදේශවල ජීවත්වන සහ සේවය කරන සියලු පුද්ගලයන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් යටතේ හිමිවන ආරක්ෂාව හා සහතිකයන් සඳහා එක හා සමානව හිමිකම් ලබන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්නට ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

වැවිලි ප්‍රජාවට ගෞරවයෙන් හා සැලකිල්ලෙන් සැලකිය යුතු බවද සියලු ආකාරයේ අමානුෂික, පහත්කොට සැලකීම් හෝ වෙනස්කම් කිරීම්වලින් ඔවුන් ආරක්ෂා කළ යුතු බවද එහි පෙන්වා දී ඇත.

එම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල් ටී බී දෙහිදෙණිය ඒ බව දැනුම් දී ඇත්තේ ප්‍රාදේශීය වැවිලි සමාගම් කිහිපයක කළමනාකාරිත්වය හා නිලධාරින් වෙතින් වැවිලි ක්ෂේත්‍රයේ සේවකයන්ට හා පදිංචිකරුවන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ සිය අවධානය යොමු කරමිනි.

එසේ ලැබී ඇති පැමිණිලි අතර වැවිලි සේවකයන්ට ප්‍රජා සාමාජිකයන්ට තර්ජනය කිරීම් හා බිය ගැන්වීම්, ගෙවතු වගාවන් විනාශ කිරීම හෝ ඉවත් කිරීම, සාම්ප්‍රදායිකව භාවිතා කළ ඉඩම්, මාර්ග, ජල මූලාශ්‍ර හෝ පොදු පහසුකම් වෙත ප්‍රවේශ වීම සීමා කිරීම, ලැයින් කාමර හෝ ඉඩම්වල පදිංචි පවුල් ඉවත් කිරීම හා කම්කරු නීති උල්ලංගනය කිරීම් ආදිය වන බව එහි සඳහන් කර තිබේ.

එහි අවධාරණය කර ඇත්තේ වතු පාලනය, නිවාස, ඉඩම් භාවිතය හෝ කම්කරු ගැටලු පිළිබඳ සියලු ආරවුල් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජාතික නීති හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව නීත්‍යානුකූල, මානුෂීය සහ අයිතිවාසිකම්වලට ගරුකරන ක්‍රියාවලින් හරහා විසඳිය යුතු බවයි.

එසේ වාර්තා වී ඇති සියලු සිදුවීම් පිළිබඳ වහාම අපක්ෂපාති පරීක්ෂණ පවත්වා එවැනි තත්වයන් නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, නීතිය බලාත්මක කිරීමේ බලධාරින් හා ප්‍රාදේශීය වැවිලිල සමාගම් ඇතුළු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කර ඇති අතර එම ගැටලු විසඳීම සඳහා නිර්දේශද එම ලිපිය මගින් ඉදිරිපත් කර ඇත.

උපුටා ගැනීම What News

Social Sharing
නවතම පුවත්