
ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 35 වන සැසියේදී ශ්‍රී ලංකාව එම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ඇතුළු දූත පිරිසක් පසුගිය 12 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ මෙම සැසියට සහභාගි වීම සඳහාය.
ශ්‍රී ලංකාව 2016 වසරේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියට එක්ව ඇති අතර, එතැන් සිට වසර 10ක කාලය තුළ සම්මුතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාව මෙහිදී සමාලෝචනය කෙරේ.
සැසිය අමතමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විශ්වාසයක් දිනාගෙන ඇති බවයි.
ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 18 සහ 19 වන පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීමද එම විශ්වාසය තහවුරු කරන කරුණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ආබාධ සහිත පුද්ගලයෙකු වන සුගත් වසන්ත ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට පත්වීමත් සමඟ ප්‍රතිපත්ති සම්පාදනයේදී ආබාධ සහිත ප්‍රජාවගේ හඬට සෘජුවම අවස්ථාව ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය හා අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කරන අයවැය ප්රතිපාදනද ඉහළ නංවා ඇති බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව 2022 වසරේ රුපියල් බිලියන 48ක්ව පැවති එම ප්‍රතිපාදන 2026 වසර වන විට රුපියල් බිලියන 81ක් දක්වා ඉහළ නංවා ඇති බව සඳහන් කළේය.
රටේ යටිතල පහසුකම්වල පවතින ප්රවේශවීමේ බාධා හඳුනාගැනීම සඳහා ජාතික ප්‍රවේශ විගණනයක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
තවද, ආබාධ සහිත පුද්ගලයන්ට පහසුකම් සැලසෙන පරිදි පතුල පහත් බස් රථ 104ක් සේවයට එක් කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, එම බස් රථවල රියදුරන් සහ සහායකයන් සඳහා සංඥා භාෂා පුහුණුව ලබාදීමටද සැලසුම් කර තිබේ.
2025 මාර්තු මාසයේදී ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය පිහිටුවා ඇති බවත්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, එම සංශෝධන මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද පැවසීය.
එමෙන්ම ‘සංඥා භාෂා පනත’ සඳහාද කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය උපාලි පන්නිල මහතා ජිනීවා සැසිය අමතමින් ප්‍රකාශ කළේය.
