
2020 වසරේ සිට 2026 ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන් 4,308 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එම පිරිස අතර පොලිස් නිලධාරීන් 3,936 දෙනෙකු සහ නිලධාරිනියන් 372 දෙනෙකු සිටින බව සඳහන් වේ.
ගත වූ කාලසීමාව තුළ වැඩිම පිරිසක් සේවයෙන් ඉවත්ව ඇත්තේ 2025 වසරේදී වන අතර, එම වසරේදී පමණක් නිලධාරීන් 838 දෙනෙකු සහ නිලධාරිනියන් 49 දෙනෙකු ඇතුළුව 887 දෙනෙකු සේවයෙන් ඉවත්ව තිබේ.
මේ අතර, 2026 වසරේ පළමු මාස හය තුළදී පමණක් පොලිස් නිලධාරීන් 699 දෙනෙකු සහ නිලධාරිනියන් 59 දෙනෙකු ලෙස 758 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් ඇත.
සේවා කාලය අවසන් වීමට පෙර විශ්‍රාම ගැනීම, විදේශ රැකියා සඳහා පිටත්ව යාම ඇතුළු විවිධ පෞද්ගලික හේතු මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව, ගත වූ වසර පහක කාලය තුළ පොලිස් නියෝගවලට පටහැනි විවිධ විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් නිලධාරීන් 658 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා පොලිස් සේවයේ සමස්ත පුරප්පාඩු සංඛ්‍යාව 30,815ක් වන අතර, ඉන් 28,164ක් සාමාන්‍ය පොලිස් සේවයේ පුරප්පාඩු වන අතර 2,651ක් විශේෂ කාර්ය බලකායේ (STF) පුරප්පාඩු වේ.
එම පුරප්පාඩු පිරවීම සඳහා නියමිත බඳවා ගැනීම්, උසස් කිරීම් සහ ස්ථානමාරු පටිපාටිවලට අනුකූලව නව බඳවා ගැනීම් සහ උසස්වීම් කඩිනම් කර ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර, පොලිස් නිලධාරීන්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීම සහ මානසික සුවතාව තහවුරු කිරීම සඳහා ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
නවීන තාක්ෂණය හඳුන්වාදීම හා ඩිජිටල්කරණ වැඩසටහන්, භට නිවාස පහසුකම් වැඩිදියුණු කිරීම, බෝ නොවන රෝග හඳුනාගැනීමේ වෛද්‍ය කඳවුරු පැවැත්වීම සහ ගුණාත්මක ඖෂධ ලබාදීම ඒ අතර වේ.
එමෙන්ම ශල්‍යකර්ම සඳහා වෙන් කරන මුදල් ප්‍රතිපාදන ඉහළ නැංවීම, උපදේශන හා මනෝවිද්‍යාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම ‘පොලිස්පති සහන දිනය’ හරහා නිලධාරීන්ට පොලිස්පතිවරයා වෙත ඍජුවම සිය ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමද සිදුකර ඇත.
