ආදිවාසී ජනතාව වෙනුවෙන් පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට!

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම්, පාරම්පරික දැනුම සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

වසර ගණනාවක සිට ආදිවාසී වැදි ජනතාව විසින් ඉල්ලා සිටි ආදිවාසී පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බවත්, අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

“ආදිවාසී පාරම්පරික වින්නඹු මාතාවන්ට ගරු කිරීම – ජීවිතය සහ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම” යන තේමාව යටතේ දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේ පැවති ලෝක ආදිවාසී දිනය 2026 සැමරුම් උත්සවයට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

ආදිවාසී වැදි ජනතාව පරිසරය සමඟ සමගාමීව ජීවත් වන ප්‍රජාවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ගැබිනි සතුන් නොමැරීම, මී මැසි වද කඩන විට සම්පූර්ණ වදය විනාශ නොකිරීම සහ නැවත පැළවීමට හැකි වන පරිදි අල වර්ග පසට එකතු කිරීම වැනි පරිසර හිතකාමී සිරිත් විරිත් ඔවුන්ගේ ජීවන රටාව තුළ පවතින බව සඳහන් කළාය.

එමෙන්ම, සංවර්ධන ව්‍යාපෘති සහ ජාතික වනෝද්‍යාන ප්‍රකාශයට පත් කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ආදිවාසී ජනතාවගේ පාරම්පරික වනාන්තර භූමි සහ නිදහස් ජීවන රටාව අහිමි වීමේ තර්ජනයකට මුහුණ දී ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.

ආදිවාසී වැදි ජනතාවගේ අනන්‍යතාව, පාරම්පරික දේශීය දැනුම සහ සංස්කෘතික උරුමයන් වඳවී යාමේ අවදානමකට ලක්ව ඇති බැවින්, රජයක් මෙන්ම සමාජයක් ලෙස ද මෙම ගැටලුව කෙරෙහි සංවේදීව සහ වගකීමෙන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

සංවර්ධනය යනු ආදිවාසී ජනතාවගේ උරුමය විනාශ කිරීම නොවන බවත්, එක්සත් ජාතීන්ගේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයට අනුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමක් බවත් ඇය සඳහන් කළාය.

රජයක් ලෙස ආදිවාසී ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිය සහ සංස්කෘතික ස්වාධීනත්වය ආරක්ෂා කරන අතරම, තිරසාර ජීවනෝපාය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ද කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවාය.

මෙහිදී ආදිවාසී වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් ශ්‍රී ලංකා ආදිවාසී ප්‍රජා ප්‍රකාශනය අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වා තිබේ.

මූලාශ්‍රය ලංකාදීප

Social Sharing
නවතම පුවත්