
අමෙරිකා එක්සත් ජනපදය විසින් කොළඹ වරායේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 17ක මූල්ය ප්රදානයක් සිදුකර තිබේ. මෙම මූල්ය පරිත්යාගය ලබා දීමත් සමඟ මෙරට අමෙරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා අද (16) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ප්රථමයෙන් කොළඹ වරාය නියමු නාවික මධ්යස්ථානයට පැමිණි තානාපතිවරයාව, වරාය සහ සිවිල් ගුවන්සේවා, බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා සහ වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
මෙහිදී අදහස් දැක්වූ තානාපති එරික් එස්. මේයර් මහතා සඳහන් කළේ අමෙරිකානු තාක්ෂණය කොළඹ වරායට හඳුන්වාදීම තුළින් භාණ්ඩ මෙහෙයුම් වේගවත් කිරීමටත්, වෙළඳ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමටත් මෙන්ම දෙරටේ ආර්ථිකයන් ශක්තිමත් කිරීමටත් මහත් දායකත්වයක් ලැබෙන බවයි. එමෙන්ම මෙම වරාය නිරීක්ෂණය හරහා ගෝලීය වෙළඳාම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම තවදුරටත් අවබෝධ කරගැනීමට හැකි වූ බව ද ඔහු පැවසීය.
මෙම මූල්ය ප්රදානය වෙනුවෙන් අමෙරිකානු රජයට සහ ජනතාවට ශ්රී ලංකා රජයේ ස්තූතිය පුදකළ අමාත්ය අනුර කරුණාතිලක මහතා, ලැබුණු ආධාර මුදල ‘නාවික තනි කවුළුව’ (Maritime Single Window) ස්ථාපිත කිරීමට සහ වරාය මෙහෙයුම් ඩිජිටල්කරණයට යොදාගන්නා බව ප්රකාශ කළේය. එමඟින් වරාය සේවාවන් ලබාගන්නා සියලුම පාර්ශ්වයන්ට විශාල සහනයක් සහ අතහිතක් ලැබෙන බව ද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මාධ්ය හමුවේ අදහස් දැක්වූ වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්රම දිසානායක මහතා පෙන්වා දුන්නේ මෙම වසරේදී බහාලුම් (Containers) මිලියන 09ක් මෙහෙයවීමට අපේක්ෂා කරන බවත්, ඉන් 80%ක් පමණ ප්රතිනැව්ගත කිරීම් (Transshipment) වන බවත්ය. එලෙස ප්රතිනැව්ගත කිරීම් හරහා ගෝලීය වෙළඳාමට කොළඹ වරායෙන් ලැබෙන දායකත්වයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 250 කට අධික වන අතර, එය ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ඉතා විශාල දායකත්වයක් බවත්, වරාය මෙහෙයුම්වලට සම්බන්ධ සියලු පාර්ශ්ව අතර තොරතුරු හුවමාරුව හා සම්බන්ධතාව ද මෙයින් තවදුරටත් වර්ධනය වන බවත් ඔහු පැවසීය.
