ලාල් හෑගොඩ සහ අශිෂ්ට සොල්දාදුවාගේ පා පහර

ආදරණීය ලාල් අයියාට දිගාසිරි. 

තෙල් පෝලිමේ සිටි පීඩිත තරුණයාට එල්ල වූ තිරශ්චීන සෙබළ පා පහර ගැන කතාවට අද දවස ගත වුණා. ඒ අතරේ අප ළයාදර  ලාල් හෑගොඩ නම් අතිවිශිෂ්ටයාගේ , කිවිවර උදාර පුරුෂයාගේ ජන්ම දිනය මතකයෙන් රූරා යන්න හැදුවේ. ඔහු වන් කිවිවරුන්සිය කවි බසින් මිහිරි කළ අපේ ලෝකය අර වගේ නොමිනිසුන් නිසා අපායට ඇදලා දැමෙනවා. උතුරේ වාර්ගික යුද්ධය නන්දිකදාල්වලින්– ඒ අරුතෙන් අවසන් වූ පසු අප හමුවේ ශේෂ වූ විපාක සිත් රිදවමින් මතු වෙනවා. උතුරෙන් ගලවා ගෙන ආඋළුවහු ජනෙල් අගනුවර ඕසෙට විකිණුනා. ලාල් හෑගොඩ , සරත් චන්ද්‍රජීව මේවා හඹාගෙන ගියා. ෆොටෝ ගැහුවා. චිත්‍ර ඇන්දා. සුනිල් විජේසිරිවර්ධන අපට දැනුම් තේරුම් දුන්නා. සරත් සර් ඒ පොත කවදා හෝ කරාවි. රණවිරු ආලේපිත තිරිසන් පා පහර ලද  අපි රිදුනු සිතින් අද දවස ගෙවීමු. යුද්ධෙන් පස්සේ කොළඹ ආ උළුවහු ජනෙල්, හිස් ආර්ටි පිත්තල කොපු ඇසුරින් සරත් සර්ගේ පොතට මා ලියූ කවිය උපන් දාතිළිණය ලෙස බෙදා ගන්නම්. 

 

සුන්දර්ම්පුර ජනෙල් පියන්පත 

ඇල්සේෂන් – පොමනේරියන් බල්ලන් ද සමග 

නෝනලා – බේබිලා  ජොගින් ගිය’තුර 

වෙඩිබෙහෙත් ගඳ කිසිත් නැති 

ලස්සන ම වීර විභුෂනවල 

දුහුලි පිස දමන්නට 

සාලයට ආ කෝකිලා 

 

ළඟ දි සාලයට ගෙන ආ කැටය’මැති 

වාර්නිෂ් සුවඳ’ති උළුවස්ස හා ජනේලය 

විදුලියක් ද කෙටුවේ හිත තුළ

කාන්දමක් සේ පොලා පැන 

කොපොළක් සේ සිම්බාය ඈ

පරපුරු දෙකක් පැරණි මහගෙදර උළුවස්ස 

 

සුන්දරම්පුර මහගෙදර හැමදා ම 

අප්පා හේත්තු වී සිටි තැන පැල්ලම 

වාර්නිෂ් කාරම කපාගෙන ආ 

බේත් තෙල් සුවඳින් පිරුණා ය කෝකිලා 

 

මල්වර වූ දා පිච්ච මල් සුවඳ හමා ආ 

ඒ සොඳුරු ජනේලය 

ගනේෂ්ගේ මිහිරි සීනු නාදයට 

අත වැනූ–අගුල ඇරි 

උණුසුම කාමරයට ම කැන්දූ

බුරුල් කර තිබූ ජනෙල් කූරු සමග ම 

දෙවියනි– කොළඹ ඇවිත්

 

‘ එම්ප්ටි ආර්ටි දෙකකට 

පිළිමතලා පිත්තල පහන් එකයි ‘

මධුසාද රැයේ යුනිෆෝර්ම් සිනා හඬ අතරේ 

පශ්චාත් යුද පැතුම් ඉතිරේ 

 

සුන්දරම්පුර අපේ ගම්කොරටුව 

විසුණු කළ එම්ප්ටි ආර්ටිය ද මේ 

දෙසවන් වසා ගති කෝකිලා දෑතින්ම 

මිග් මිගිඳු ගෝරනාඩුව සිහි වී 

 

සිංහල බෞද්ධ සාලයක 

ඔප දෑමූ  ආර් පී ජී –ආර්ටි 

පිත්තල පතුරම් කොපු අතර 

නූතන විසිත්ත කාමර කැටයමක් ව 

සුන්දර්ම්පුර ජනෙල් පියන්පත 

අමුතු සංහින්දියාවක  

 

– හිනිදුම සුනිල් සෙනෙවි – 

2021. 03. 11

උපුටා ගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග