
පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් මේ වසරේ අවසාන භාගයේදී ශ්‍රී ලංකාවට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එම තත්ත්වයත් සමඟ ගංවතුර, ජලයෙන් යටවීම් සහ කෘෂිකාර්මික කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවීමේ අවදානමක් පවතින බව ආසියානු කලාපයේ රටවලට සිදුවිය හැකි බලපෑම පිළිබඳ නිකුත් කළ නවතම තක්සේරු වාර්තාවේ දැක්වේ.
එම තක්සේරුවට අනුව එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වැඩි අවධානයක් අවශ්‍ය රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති අතර, මෙරටට අදාළ ප්‍රධාන අවදානම වන්නේ වියළි කාලගුණයට වඩා අධික වර්ෂාපතනයක් ලැබීමයි. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාවක් ලැබීමේ ඉඩකඩ පවතී. මෙම දේශගුණික අවදානම සහ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි. කෙසේවෙතත්, මෙම අවදානම මෙතෙක් පුළුල් බලපෑමක් බවට පත්ව නොමැති බැවින් පූර්ව සූදානම සඳහා තීරණාත්මක කාලයක් තවමත් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
මේ අතර, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් සිඳී ගොස් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේය. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ගොවිබිම් සඳහා වන්දි ලබාදීමට රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
