ඩොලර් බිලියනයක් වංචාසහගත ලෙස රටින් පිටකිරීමේ චෝදනාවට බැංකු නිලධාරීන් සිව්දෙනා රිමාන්ඩ්.

ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් වංචාසහගත ලෙස විදේශගත කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් වාණිජ බැංකු හතරක නිලධාරීන් සිව්දෙනා අගෝස්තු 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමඟ අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ සෙලාන් බැංකුවේ කළමනාකරුවෙකු, යුනියන් බැංකුවේ කළමනාකරුවෙකු, NDB බැංකුවේ හා සම්පත් බැංකුවේ  කනිෂ්ඨ බැංකු නිලධාරීන් දෙදෙනෙකුය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සඳහා විදේශ රටවලට ඇමෙරිකානු ඩොලර් යැවීමට බැංකු මඟින් ලබාදෙන පහසුකම් අවභාවිත කර මෙම වංචාව සිදු කර ඇති බවයි.

ශ්‍රී ලංකාවට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රටේ විදේශ විනිමය සංචිතවලින් ඇමෙරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් විදේශගත කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ කර ඇති බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ව්‍යාපාරිකයෙකු ලෙස හඳුන්වා දී ඇති ජෙෆ්රි මොහොමඩ් නමැත්තා පුද්ගලයන් අට දෙනෙකුගේ නම් ඇතුළු ව්‍යාජ තොරතුරු භාවිත කර සමාගම් 36ක් පිහිටුවා ඇති බවයි.

එම ව්‍යාජ සමාගම් හරහා අවස්ථා 199කදී ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් මගින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් විදේශගත කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද අධිකරණයට දැනුම් දී ඇත.

එමෙන්ම සැකකරුවන් ජෙෆ්රි මොහොමඩ් නමැත්තා සමඟ සම්බන්ධ වී මෙම ගනුදෙනු සිදු කර ඇති බවටත්, සෑම සිකුරාදා දිනකම ඔහු හමුවී ඩොලර් විදේශගත කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවටත් මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේය.

සැකකරුවන් විසින් වෙන වෙනම පෞද්ගලික බැංකු ගිණුම් විවෘත කර ජෙෆ්රි මොහොමඩ් නමැත්තාගෙන් ලැබුණු බව කියන ප්‍රතිලාභ එම ගිණුම්වල තැන්පත් කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයට දැනුම් දී තිබේ. රුපියල් 50,000, 70,000, ලක්ෂයක් සහ ලක්ෂ තුනක් වැනි මුදල් එලෙස තැන්පත් කර ඇති බවද සඳහන් විය.

මෙම කරුණු සම්බන්ධයෙන් සැකකරුවන් අයථා ලෙස මුදල් උපයා ගැනීම පිළිබඳවද වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ මණ්ඩලය සඳහන් කළේ බැංකු ශාඛාවක කළමනාකරුවන්ට මෙවැනි මහා පරිමාණ වංචාවක් තනිව සිදු කළ නොහැකි බවයි.

තම සේවාදායකයන් වෙත පැමිණෙන පුද්ගලයන් සතුව සමාගම් තිබේද, ඔවුන් සැබවින්ම භාණ්ඩ ආනයනය කරන්නේද යන්න පිළිබඳව ප්‍රායෝගිකව සොයා බැලීමේ හැකියාවක් බැංකු නිලධාරීන්ට නොමැති බවද නීතිඥවරු පෙන්වා දුන්හ.

ඒ අනුව තම සේවාදායකයන්ට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් අගෝස්තු 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එදිනට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද පොලිසියට නියෝග කර තිබේ.

Social Sharing
නවතම පුවත්