2026 වසර තුළ මෙරට රැඳි සිටිමින් සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ විදේශීකයින් 1093ක් අත්අඩංගුවට!

Cyber ​​financial crime

2026 වසරේ මේ දක්වා මෙරට තුළ සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකකෙරෙන විදේශිකයන් 1,093 දෙනෙකු සිදුකරන ලද වැටලීම් 24ක් තුළ දී අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් මේ බව අනාවරණය කර ඇත්තේ ඊයේ පැවැති ‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන තුළ දී ය.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබාදුන් දත්තයන්ට අනුව, විදේශිකයන් මෙරට සයිබර් ජාවාරම්වලට සම්බන්ධ වීමේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව 2024 වසරේදී සිදුකළ වැටලීම් 26කදී විදේශිකයන් 573 දෙනෙකු සහ 2025 වසරේදී සිදුවීම් 02කදී විදේශිකයන් 26 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේවෙතත්, පසුගිය වසරවලට සාපේක්ෂව 2026 වසරේ අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති අතර, වැටලීම් 24කදී පමණක් විදේශික සැකකරුවන් 1,093 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද විදේශිකයන් සියලුදෙනා නැවත ඔවුන්ගේ මව් රටවල් වෙත පිටුවහල් කිරීම සඳහා වන නීතිමය කටයුතු මේ වන විට සක්‍රියව ක්‍රියාත්මක වන බවද සහකාර පොලිස් අධිකාරී වූට්ලර් වැඩිදුරටත් පැවසීය.

Social Sharing
නවතම පුවත්