ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව රු. 17,592 දක්වා ඉහළට!

ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව රුපියල් 17,592ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය පසුගිය මැයි මාසයේ පැවති දරිද්‍රතා රේඛාවට සාපේක්ෂව රුපියල් 277ක ඉහළ යාමකි.

පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකදී අවශ්‍ය වන අවම වියදම නිල දරිද්‍රතා රේඛාව මගින් පෙන්නුම් කරයි.

ජුනි මාසයේදී දිස්ත්‍රික් මට්ටමින් වැඩිම නිල දරිද්‍රතා රේඛා අගය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය රුපියල් 18,973කි. ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 18,876ක් ලෙස සටහන් වී තිබේ.

මේ අතර, ජුනි මාසයේදී අඩුම නිල දරිද්‍රතා රේඛා අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය රුපියල් 16,821කි.

ඒ අනුව, දිස්ත්‍රික්ක අනුව මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මාසික වියදමේ වෙනස්කම් පවතින බව ද නවතම දත්ත මගින් පෙන්නුම් කරයි.

Social Sharing
නවතම පුවත්