මීගමුව රෝහලේ දී තරුණියකට ලිංගික හිංසනය කළ වෛද්‍යවරයා GMOA සාමාජිකයෙක් නෙවෙයි!

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි තරුණියක් වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. වාර්තාවන අන්දමට බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියක්ව එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට ලක්කර ඇතැයි ජනමාධ්‍ය හරහා වාර්තා වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) නිවේදනයක් නිකුත් කර ඇති අතර ඔවුන් පවසන ආකාරයට අදාළ වෛද්‍යවරයා විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කීපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද පුද්ගලයකු බවයි.
එම සංගමය නිකුත් කර ඇති අදාළ නිවේදනය පහත පරිදි වේ.

“මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි තරුණියක්, එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් විසින් ලිංගික හිංසනයකට ලක්කරනු ලැබුවේ යයි සිදු කරන ලද පොලිස් පැමිණිල්ලක් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය හරහා වාර්තා වී ඇත. අදාල සිදුවීම සම්බන්ධයෙන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් ශාඛාවෙන් ලබාගත් තොරතුරු වලට අනුව මෙම සිදුවීමට අදාල වෛද්‍යවරයා, අප සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කීපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බව තහවුරු කරන ලදී.

එසේ වුවත්, රජයේ රෝහලක් තුළ සිදුවුණු මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව අප විශ්වාස කරන අතර, එම විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපරිම සහයෝගය ද ලබාදෙනු ඇත.
සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්‍ෂාව තහවුරු විය යුතු බව අප තරයේ විශ්වාස කරන අතර ඒ වෙනුවෙන් වඩා ශක්තිමත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබාදීමට ද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සූදානම් බව අවධාරණය කරමු.”

 

Social Sharing
අවකාශය පුවත්