දෙමළ ජනයාට එරෙහිව ඉතිහාසයේ සිදු වූ දැවැන්තම වර්ග සංහාරයේදී ජීවිත අහිමි වු සිය සමීපතමයන් අනුස්මරණය සදහා මුල්ලිවයික්කාල් භුමියේ පිලිගත් ස්මාරකයක් ඉදි කිරීමට දෙමළ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලා තිබේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් දෙසැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එවැනි පිලිගත් ස්මාරකයක් යුද්ධයෙන් වැඩිම පිඩාවට පත් ප්‍රදේශයන් හි වාසය කරන ජනතාව ඉල්ලා සිටින බවයි.
“ඥාතීන් අහිමි වී ජීවත් වන ජනතාවට තමන්ගේ ඥාතීන්ව අනුස්මරණය සදහා පිළිගත් ස්මාරකයක් අවශ්‍ය බව එහි සිටින ජනතාව අවධාරනය කරනවා. ලෝකයේ පැරණිතම ප්‍රජාවක් වන දෙමළ ජාතිය මළවුන් අනුස්මරණය සම්බන්ධයෙන් ඉතා උසස් ශිෂ්ට සංස්කෘතියක් තියනවා. අපේ ජාතියේ ඉතිහාසයේ ජීවිත ගණනාවක් අහිමි වූ අපේ ජනතාව සිහිපත් කිරීමට ස්මාරකයක් පිහිටුවීම අත්‍යවශ්‍ය දෙයක්.”
එවැනි ස්මාරකයක් නිර්මාණය කිරීමේදී මිය ගිය අයගේ නම් එහි සටහන් කිරීමේ වැදගත් කමත් තුරෙයිරාසා රවිහරන් මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කර තිබේ.
“ මුලතිව් ප්‍රදේශයේ පමණක් නොව බොහෝ ස්ථානවල සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව වෙනුවෙන් ස්මාරක ඉදිකර ඇති අතර මියගිය අයගේ නම්ද සටහන් කර තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් මළවුන් සිහිපත් කිරීමට ක්‍රමයක් ඇති වෙනවා. මුල්ලිවයික්කාල් දැවැන්ත විනාශය සිහිපත් කරලා හදන ස්මාරකයේ මිය ගිය අයගේ නම් සටහන් කරන එක තමන්ගේ ඥාතීන්ව කාලයාගේ ඇවැමෙන් ඔවුන්ගේ ඊලග පරම්පරාවට සිහිපත් කරන්න පහසුවක් වෙනවා. එය එම ජාතියේ සංස්කෘතිය ද පිළිබිඹු කරනවා.”
දෙමළ වර්ග සංහාර සතියක් නම් කරමින් සෑම වසරකම මැයි 18 වැනිදා මුල්ලිවයික්කාල් භුමියට රැස්වන දහස් සංඛ්‍යාත දෙමළ ජනයා දස දහස් ගණනක් ජනඝාතනයට බිලිවූ මුල්ලිවයික්කාල් භූමියේ දී පුෂ්පයෙන්, සුගන්ධයෙන් හා දීපයෙන් මල’වුන්ට බුහුමන් දක්වමිනි.
එම භුමියේ නව ස්මාරකයක් ඉදි කිරීමට දෙමළ ජනයාට අනුමැතිය දෙන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි තුරෙයිරාසා රවිහරන් මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ සිය සමිපතමයන් අනුස්මරණය කිරීමට පහසු වන අයුරින් එම ස්මාරකය නිර්මාණය කිරීමට අවසර දෙන ලෙසයි.
“මැයි 18 සැමරුම පැවැත්වෙන ස්ථානයේ ස්මාරකය ඉදිකළ යුතුය. අපි මිනී වළලනු ලබන අයට සොහොන් හදනවා. අදාළ ඥාතීන්ගේ අනුස්මරණ දිනවල අනුස්මරණ පවත්වන්න, පහසු විදිහට ස්මාරකයක් හදන්න අපේ ජනතාවට අනුමැතිය දෙන්න. ”
මළවුන්ට ගෞරව දැක්වීම හින්දු සංස්කෘතියේ කොටසක් වනවා සේම, මළවුන්ට ගෞරව දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මූලික අයිතිවාසිකමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.
theleader.lk