එක්සත් ජාතීන්ගේ නව මහලේකම් තෝරා ගැනීමේ සටන තීරණාත්මක වෙයි!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතාගේ ධුර කාලය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබීමත් සමඟ නව මහලේකම්වරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළඟ ප්‍රධානියා ලෙස පත්වීම සඳහා අපේක්ෂකයන් අට දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, ඔවුන් අතරින් සුදුසු පුද්ගලයා නිර්දේශ කිරීමේ බලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UNSC) සතු වේ.

මෙම තරගයේ ප්‍රධාන අපේක්ෂකයන් අතර එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුවේ (UNCTAD) ප්‍රධානී කොස්ටාරිකා ජාතික රෙබෙකා ග්‍රින්ස්පන් (Rebeca Grynspan), ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) ප්‍රධානී ආර්ජන්ටිනා ජාතික රෆායෙල් ග්‍රොසි (Rafael Grossi) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ලානා නුසෛබා (Lana Nusseibeh) යන අය සිටිති.

මීට අමතරව ඉක්වදෝරය, තුර්කිය, ගයානාව සහ උගන්ඩාව නියෝජනය කරමින් ද අපේක්ෂකයන් කිහිපදෙනෙකු මෙම තරගයට එක්ව සිටින බව වාර්තා වේ.

නව මහලේකම්වරයා තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජික රටවල් පහ වන චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය සතු නිෂේධ බලය (Veto Power) තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශය ලබා ගැනීම සඳහා අපේක්ෂකයෙකුට අවම වශයෙන් ඡන්ද නවයක් හිමිවිය යුතු අතර, ස්ථිර සාමාජික රටවල් පහෙන් කිසිදු රටක් නිෂේධ බලය භාවිත නොකළ යුතුය.

ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශය හිමිවන අපේක්ෂකයාගේ නම අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ.

මේ දක්වා පවත්වා ඇති රහසිගත මූලික ඡන්ද විමසීම් (Straw Polls) අටකදී අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට හැකි වී නොමැති බව සඳහන් වේ. කෙසේ වෙතත්, මෑතකදී පැවැති ඡන්ද විමසීමකදී රෙබෙකා ග්‍රින්ස්පන් වැඩි කැමැත්තක් දිනා ගනිමින් ඉදිරියෙන් සිටින බව වාර්තා වී තිබේ.

නව මහලේකම්වරයෙකු පත් නොවුණහොත් කුමක් සිදුවේද?

වත්මන් මහලේකම්වරයාගේ ධුර කාලය දෙසැම්බර් 31 වැනිදා අවසන් වන විටත් නව මහලේකම්වරයෙකු තෝරා ගැනීමට නොහැකි වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

එවැනි අවස්ථාවක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ පැහැදිලි නීතිමය ප්‍රතිපාදන සඳහන් නොවන බව පෙන්වා දෙන අතර, මෙතෙක් ඉතිහාසයේ මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුව නොමැති බව ද සඳහන් වේ.

ඒ අනුව, නව මහලේකම්වරයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්නා තීරණ ජාත්‍යන්තර දේශපාලනයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරිත්වයේ ද වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත.

Social Sharing
නවතම පුවත්