
සාමාන්‍යයෙන් පවුලක ආදායම්, වියදම් හා පරිභෝජනය ගැන හරියටම දන්නේ ඒ පවුලේ අයයි. “අපි කන හැටි ලිපා දනී” කියා කතාවට කියන්නේ ඒ නිසා. මේ ආදායම්, වියදම් හා පරිභෝජන රටාවන් පවුලෙන් පවුලට වෙනස් වෙනවා.
නියැදි සමීක්ෂණ මගින් රටක පවුල් ඒකක වල ආදායම් හා වියදම් වල සංඛ්‍යානමය ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු එකතු කර ගන්න පුළුවන්. ලංකාවේ පවුල් ඒකක හා අදාළව, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් වසර කිහිපයකට වරක් මෙවැනි සමීක්ෂණයක් සිදු කරනවා. රටේ සිටින දරිද්‍රතාවයෙන් පෙළෙන ජන ප්‍රතිශතය වැනි තොරතුරු ඇස්තමේන්තු කරන්නේද මේ සමීක්ෂණය ඇසුරෙනුයි.
පසුගිය 2025 වසරේදී සිදු කළ ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයේ මූලික ප්‍රතිඵල මේ වන විට ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම සමීක්ෂණය පැවැත්වුනේ වසර හයකට පසුවයි. මීට පෙර, 2016 සහ 2019 වසර වලදී මෙවැනි සමීක්ෂණ සිදු කළ අතර, ඉන් පසුව 2022 වසරේදී සමීක්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබුණත්, ආර්ථික අර්බුදය ඇතුළු තවත් හේතු නිසා මෙය 2025 දක්වා කල් ගියා.
සමීක්ෂණ ප්‍රතිඵල හරහා මෙවර අපට දැක ගන්නට ලැබෙන්නේ වසර හයක කාලයකට පසුව ලංකාවේ ගෘහස්ථ ආදායම් හා වියදම් ව්‍යාප්තිය වෙනස් වී ඇති ආකාරයයි. ඉහත වසර හයක කාලය ඇතුළත ඉතා ඉහළ උද්ධමනයකට හා ආර්ථිකයේ කඩා වැටීමකට රටේ ජනතාවට මුහුණ දීමට සිදු වූ බවද අප දන්නා කරුණක්.
සමීක්ෂණ ප්‍රතිඵල අනුව, 2019දී රුපියල් 63,130ක් වූ පවුල් ඒකකයක මධ්‍යන්‍ය මාසික වියදම 2025 වන විට රුපියල් 116,191 දක්වා 84%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාමට ප්‍රධානම හේතුව පරිභෝජනය ඉහළ යාම නොව, උද්ධමනය නිසා මිල ගණන් ඉහළ යාම බව අප කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. කෙසේ වුවද, උද්ධමනය හා ගැලපීමෙන් පසුවද, වියදම් 15%කින් ඉහළ ගොස් ඇති බව දැකිය හැකියි. මෙය පරිභෝජනය එපමණකින් ඉහළ යාමක් ලෙස සැලකිය හැකියි.
සාමාන්‍ය කරුණක් ලෙස උද්ධමනය හේතුවෙන් වියදම් ඉහළ යද්දී ආදායම් ඉහළ යාමක්ද බොහෝ විට සිදු වෙනවා. ඊට හේතුව එක් අයෙකුගේ වියදමක් තවත් අයෙකුගේ ආදායමක් වීමයි. 2019දී රුපියල් 76,414ක් වූ ගෘහස්ථ ඒකකයක මධ්‍යන්‍ය ආදායම 2025 වන විට රුපියල් 120,266 දක්වා 57%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම ආදායම් වර්ධනය 84%ක වියදම් වර්ධනයට වඩා බෙහෙවින්ම අඩු බව නිරීක්ෂණය කළ හැකියි. එමෙන්ම, මෙම වසර හයක කාලය තුළ උද්ධමනය නිසා සිදු වූ සමස්ත බලපෑම ඉවත් කිරීමෙන් පසුව ගෘහස්ථ ඒකකයක මධ්‍යන්‍ය ආදායමෙහි 2%ක පමණ අඩු වීමක් දැකිය හැකියි. රටක ආර්ථිකය කඩා වැටෙද්දී මෙවැනි තත්ත්වයක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්.
මේ තත්ත්වය තුළ රටේ ගෘහස්ථ ඉතිරි කිරීම් විශාල ලෙස පහත වැටී ඇති බව පෙනෙනවා. 2019දී ගෘහස්ථ ඒකකයක මධ්‍යන්‍ය ආදායමට සාපේක්ෂව වියදම 82.6%ක් පමණක් වුවත්, 2025 වන විට එම ප්‍රතිශතය 96.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගෘහස්ථ ඒකකයක මධ්‍යන්‍ය ආදායම ආදායම වෙනුවට මධ්‍යස්ථ ආදායම සැලකුවහොත්, 2019දී රුපියල් 53,333ක් වූ එම අගය 2025 වන විට රුපියල් 75,882 දක්වා 42%කින් ඉහළ යද්දී, 2019දී රුපියල් 47,544ක් වූ ගෘහස්ථ ඒකකයක මධ්‍යස්ථ වියදම රුපියල් 94,057 දක්වා 98%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙහි දැකිය හැකි පරතරය මධ්‍යන්‍ය අගයන් අතර එම පරතරයට වඩා බෙහෙවින්ම වැඩියි. එමගින් පිළිබිඹු වන්නේ රටේ අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය වඩා විශාල ලෙස ඛාදනය වී ඇති ආකාරයයි.
ඉහත සංඛ්‍යාති වලින් අදහස් වන්නේ රටේ මධ්‍යස්ථ පවුලක් 2019දී වියදම් කළේ සිය ආදායමෙන් 89.1%ක් පමණක් වුවද, 2025 වන විට එම ප්‍රතිශතය 124.0% දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අඩුවෙන් කොටසක් සහනාධාර වලින් පියැවී තිබෙනවා විය හැකි වුවත්, සැලකිය යුතු කොටසක් ගෘහස්ථ ඉතිරි කිරීම් ක්ෂය වීම හා ණය ඉහළ යාම මගින් පියැවී තිබෙනවා විය යුතුයි.
දරිද්‍රතාවෙන් පෙළෙන ප්‍රතිශතය ඉහත වසර හයක කාලය තුළ 14.3% සිට 16.0% දක්වා ඉහළ ගොස් ඇති අතර දරිද්‍රතා ආදායම් මට්ටම රුපියල් 6,966 සිට රුපියල් 16,417 දක්වා 136%කින් ඉහළ ගොස් තිබෙනවා.
