වසරක පමණ කාලයකදී ළමුන් 11,131ක් අත්අඩංගුවට!

2025 ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා විවිධ අපරාධ සහ වැරදි සම්බන්ධයෙන් ළමුන් 11,131 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කරයි. අත්අඩංගුවට ගත් ළමුන් අතර ගැහැණු ළමුන් 233 දෙනකු ද සිටින බව ඔහු වැඩිදුරටත් පවසයි.

විශේෂයෙන්ම පාසල් සහ උපකාරක පන්ති ආශ්‍රිතව ‘අයිස්’ ඇතුළු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරම් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට්වල බහා බොම්බේ මොටයි, සාරවිට වැනි ආහාර ද්‍රව්‍ය සහ රසකැවිලි හරහා දරුවන්ට ලබාදීමේ නව උපක්‍රම භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පාසල් අවට විශේෂ බුද්ධි නිලධාරීන් කණ්ඩායම් යොදවා ඇති බව ද ඔහු පවසයි.

එමෙන්ම දරුවන්ගේ ආහාර පුරුදු, දෛනික හැසිරීම් රටාව, කතාබහ සහ මිතුරු ඇසුරෙහි අසාමාන්‍ය වෙනස්කම් දක්නට ලැබෙන්නේ නම් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ පාසල් ප්‍රජාව ඒකාබද්ධව අවධානයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද මෙම අනාවරණය මගින් යළිත් අවධාරණය කෙරේ.

Social Sharing
නවතම පුවත්