නව PSTA පනතෙන් මානව හිමිකම් උල්ලංඝනය වන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි!

මෑතක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA) මගින් බරපතළ ලෙස මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමක් සිදුවන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයට  අනුව යෝජිත නව පනත මගින් අතීතයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් නැවතත් සමාජය තුළ තහවුරු වීමේ දැඩි අවදානමක් නව පනත මඟින් සිදුවන බවයි.

තවද සංවිධානය පෙන්වා දෙන්නේ 2025 අගභාගයේදී නිකුත් කරන ලද මූලික සැලසුමට (White Paper) වඩා යම් යම් සංශෝධන ඇතුළත් කර තිබුණද, දීර්ඝ කාලයක් තිස්සේ මර්දනකාරී ලෙස භාවිත වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට හඳුන්වා දීමට නියමිත PSTA කෙටුම්පතද තවදුරටත් අධික ලෙස පුළුල් සහ අපැහැදිලි ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණයන්ගෙන් සමන්විත වන බවයි.

රජය විවේචනය කරන්නන්, මතභේදාත්මක අදහස් දක්වන්නන් සහ සුළුතර කොටස්වලට එරෙහිව බලධාරීන් වරින් වර ආයුධයක් කරගත් මෙවැනි ත්‍රස්ත මර්දන නීතියක් සංශෝධනය කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයක් සහ පරීක්ෂාවක් යොමුකළ යුතු බවද අවධාරණය කර ඇත.

එමෙන්ම මෙම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ නව පනත් කෙටුම්පත මඟින් සිදුවිය යුත්තේ අතීතයේ පැවැති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ප්‍රතිසංස්කරණය කිරීම්වලින් ඉවත්වීම මිස, බලධාරීන්ට මර්දනය සඳහා තවත් අලුත් මෙවලම් ලබාදීම නොවන බවකි.

එමෙන්ම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා ලබන්නන් වසරක් දක්වා රැඳවුම් භාරයේ තබා ගැනීමටත්, නඩුව ආරම්භ කිරීමට පෙර තවත් වසරක කාලයක් රැඳවුම් භාරයේ තබාගැනීමටත් මෙම පනතින් අවසර හිමිවන බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ

ඒ අනුව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පවා පුද්ගලයෙකු වසර දෙකක කාලයක් අත්අඩංගුවේ තබා ගැනීමට හැකිවන බවත්, එය මානව හිමිකම් සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

Social Sharing
නවතම පුවත්