පහසුකම් නොමැති පාසල් 334කට Wi-Fi, තවත් පාසල් 10කට චන්ද්‍රිකා අන්තර්ජාලය!

සාමාන්‍ය විදුලි සංදේශ ජාල ඔස්සේ අන්තර්ජාල සබඳතා ලබාගැනීමට අපහසු පාසල් 334ක් හඳුනාගෙන ඇති අතර, එම පාසල් සඳහා වයිෆයි (Wi-Fi) පහසුකම් සැපයීම පෞද්ගලික ආයතනයකට පවරා ඇති බව අනාවරණය වී තිබේ.

එසේම භූගෝලීය දුෂ්කරතා හේතුවෙන් සාමාන්‍ය ක්‍රමවේද ඔස්සේ අන්තර්ජාල පහසුකම් සැපයිය නොහැකි දුෂ්කර පාසල් 10ක් සඳහා චන්ද්‍රිකා සමාගමක් මගින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු සඳහන් කළහ.

මෙම කරුණු අනාවරණය වූයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු රැසකට අදාළ විසඳුම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නාය. මන්ත්‍රීවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කළ ගැටලු සම්බන්ධයෙන් කරුණු විමසීමෙන් අනතුරුව ඇය මෙම උපදෙස් ලබාදී තිබේ.

පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වෙන්කර ඇති මුදල් මූල්‍ය වර්ෂය අවසන් වීමට පෙර පූර්ණ වශයෙන් ප්‍රයෝජනයට නොගෙන ආපසු යාම වැළැක්වීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය උපදෙස් දුන්නාය.

තෝරාගත් ප්‍රාථමික පාසල් 169ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනය කර තිබේ. එම ව්‍යාපෘතියට අදාළව ප්‍රමාද වී ඇති ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම කඩිනම් කරන ලෙස කාරක සභාව පළාත් බලධාරීන්ට දැනුම් දී ඇත.

ප්‍රාථමික අංශවල දරුවන් පරිසරය සමඟ සෘජුව සම්බන්ධ වෙමින් ඉගෙනුම ලැබීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එක් ශ්‍රේණියකට එක් සුහුරු පන්ති කාමරයක් (Smart Classroom) පමණක් සීමා කරන ලෙසත්, සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් නොකරන ලෙසත් උපදෙස් දුන්නාය.

තවද, අලුතින් සැලසුම් කරනු ලබන ප්‍රාථමික පාසල්වල දරුවන්ට මානසික සුවතාවයෙන් හා නිදහසේ කාලය ගත කළ හැකි විවේකාගාර සහ කියවීම් කාමර ඇතුළත් කිරීම අනිවාර්ය කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

Social Sharing
නවතම පුවත්