
බදුල්ල මහ නගර සභාවට වරිපනම් ගෙවමින් 1955 වසරේ සිට නීත්යානුකූලව භුක්ති විඳින බව පවසන පොල්ගස්වත්ත නම් ඉඩමෙන් කොටසක් මාර්ග සංවර්ධන කටයුතු සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගෙන, මේ දක්වා කිසිදු වන්දි මුදලක් ලබා නොදුන් බවට එච්. ඩී. පද්මලතා මහත්මිය චෝදනා කරයි.
ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඇය පවසන්නේ, 2005 වසරේදී දළදා ඇල මාර්ගය සංවර්ධනය කිරීමේදී තම ඉඩමේ විශාල කොටසක් යොදාගෙන ඇති බවයි. එම ඉඩම් කොටස නීත්යානුකූලව පවරා ගැනීමක් හෝ අත්පත් කර ගැනීමක් සිදු කර නොමැති බවත්, ඒ වෙනුවෙන් හිමිවිය යුතු වන්දි මුදල මෙතෙක් ගෙවා නොමැති බවත් ඇය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් 2005 වසරේ සිට අදාළ රාජ්ය ආයතන සහ නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව ඇය පවසයි. මාර්ග සංවර්ධන නිලධාරීන් නඩු පවරන ලෙස දැනුම් දෙමින් වගකීමෙන් මඟහැර ඇති බවටද ඇය චෝදනා කරයි.
තවද, තමන් නිවසේ නොමැති අවස්ථාවලදී පෞද්ගලික ඩෝසර් යන්ත්ර යොදාගෙන මාර්ගය පුළුල් කිරීමේ මුවාවෙන් ඉඩම් කොටස් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සාහ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තර්ජන එල්ල වී ඇති බවත් ඇය සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙයි.
මේ අතර, 2026 අප්රේල් 26 වැනිදා පෙරවරු 9.00ට පමණ තමන් නිවසේ නොසිටි අවස්ථාවක රාජ්ය නිලධාරීන් පිරිසක් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඉඩමට ඇතුළු වී දේපළවලට අලාභහානි සිදු කළ බවටද පද්මලතා මහත්මිය චෝදනා කරයි.
ඇය පවසන පරිදි, නිවසේ පැරණි වැසිකිළි වළ ආශ්රිතව සහ පස් කඩා වැටීම වැළැක්වීම සඳහා 2026 මාර්තු 30 වැනිදා ගල්, කොන්ක්රීට් කැබලි සහ පස් යොදා ආරක්ෂිත පස් බැම්මක් ඉදිකර තිබේ. එහෙත් අප්රේල් 26 වැනිදා පැමිණි පිරිස එම පස් බැම්ම සහ එහි තිබූ ගල් හා සිමෙන්ති කැබලි කඩා බිඳ දමා විනාශ කර ඇති බව ඇය සඳහන් කරයි.
දරුවන් තිදෙනෙකු සිටින තම පවුලේ එක් දරුවෙකු දෘෂ්යාබාධිත අයෙකු බව පවසන පද්මලතා මහත්මිය, ඉඩමේ කොටසක් අහිමි වීම සහ දිගින් දිගටම මුහුණ දීමට සිදුව ඇති ගැටලු හේතුවෙන් පවුල දැඩි ජීවන අර්බුදයකට පත්ව ඇති බව පෙන්වා දෙයි.
එබැවින්, අදාළ නිලධාරීන් සහ වාහන අංක පදනම් කරගෙන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් හා පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 2005 වසරේ සිට අත්පත් කරගෙන ඇති බව කියන ඉඩම් කොටස වෙනුවෙන් හිමිවිය යුතු වන්දි මුදල ලබාදීමත්, 2026 අප්රේල් 26 වැනිදා දේපළවලට සිදු කළ බව කියන අලාභහානි වෙනුවෙන් වන්දි ලබාදීමත් ඇගේ ප්රධාන ඉල්ලීම් අතර වේ.
එමෙන්ම, ඉදිරියේදී මෙවැනි බලහත්කාරී ක්රියා නැවත සිදුවීම වැළැක්වීමට අවශ්ය පියවර ගන්නා ලෙසද ඇය ඉල්ලා සිටීයි.
