
බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල ප්රාදේශීය සභා බල ප්රදේශයෙන් එකතු වන කැලිකසල, මොණරාගල දිස්ත්රික්කයට අයත් වැල්ලවාය ප්රාදේශීය සභාවේ ආනපල්ලම කසළ අංගනයට බැහැර කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණයත් සමඟ එම ප්රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. වැල්ලවාය ප්රදේශයේම කසළ කඳු පවා නිසි පරිදි ක්රමවත් ලෙස විසඳාගෙන නැති පසුබිමක, වෙනත් ප්රදේශවල කුණු මෙහි ගෙනැවිත් දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ප්රදේශවාසීහු පෙන්වා දෙති.
කසළ ප්රතිචක්රීකරණ වැඩසටහනක් ආරම්භ කරන බවට බලධාරීන් මීට පෙර පොරොන්දු වී තිබුණද, ඊට අදාළ කිසිදු යටිතල පහසුකමක් හෝ නිසි ක්රමවේදයක් මෙතෙක් සපයා නොමැති බව ගම්වාසීහු සඳහන් කරති. පත්තර සහ අනෙකුත් අපද්රව්ය කිසිදු ප්රතිචක්රීකරණයකින් තොරව එළිමහනේ පල්වෙමින් පැවතීම නිසා ප්රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිරී යාමෙන් සහ මැසි මදුරු උවදුර ඉහළ යාමෙන් ජනතාවගේ සෞඛ්යයට බරපතළ තර්ජනයක් එල්ල වී තිබේ.
මීට අමතරව, ආනපල්ලම යනු වනඅලි නිතර ගැවසෙන සංක්රමණික කලාපයක් වන බැවින්, කසළ ගොඩවල්වල ඇති ආහාර ද්රව්ය සොයා වනඅලි ගම්මානය දෙසට ඇදී ඒමෙන් අලි-මිනිස් ගැටුම තවදුරටත් උග්ර වී තම ජීවිත හා දේපළ දැඩි අවදානමකට ලක්වන බව ප්රදේශවාසීහු අවධාරණය කරති. එබැවින්, ඇල්ල සභාවේ කසළ වැල්ලවාය ආනපල්ලමට ගෙන ඒම වහාම නවතා දමා, ජනතාවගේ ජීවිත සහ පරිසරය සුරක්ෂිත කරන ලෙස ජනතාව වගකිවයුතු අංශයන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මානව හිමිකම් ප්රථමාධාර මධ්යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්රථමාධාර මධ්යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
මොණරාගල අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0775399353
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය
011 266 9100
