
කතරගම ප්රදේශයේ කාන්තාවක තම පියාගෙන් උරුම වූ බව පවසන ඉඩමට නිසි දැනුම්දීමකින් තොරව රාජ්ය නිලධාරීන් පිරිසක් ඇතුළු වී එහි කොටසක් ඩෝසර් කර සිමෙන්ති කණු සවිකළ බවට චෝදනා කරමින් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා තිබේ.
ඇය පවසන පරිදි, අක්කර තුනක් සහ රූඩ් තුනකින් සමන්විත මෙම ඉඩම 1971 වසරේ සිට ඇගේ පවුල විසින් භුක්ති විඳ ඇත. 1986 වසරේදී ඉඩම සම්බන්ධයෙන් අචසර පත්රිකාවක් නිකුත් කර ඇති අතර, එහි ඉඩමේ ප්රමාණය අක්කර තුනක් සහ රූඩ් තුනක් වෙනුවට අක්කර දෙකක් ලෙස සටහන් වී ඇති බව ඇය පවසයි. එම වැරදි සටහන එවකට සේවය කළ ග්රාම නිලධාරීවරයා විසින් සිදුකර ඇති බවට ද ඇය චෝදනා කරයි.
වසර 25කට අධික කාලයක් කිසිදු ගැටලුවකින් හෝ නීතිමය බාධාවකින් තොරව පවුලේ භුක්තිය යටතේ ඉඩම පැවති බව සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 24 වැනිදා තම සැමියා වකුගඩු ගල් රෝගී තත්ත්වයකින් පෙළීම හේතුවෙන් ප්රතිකාර සඳහා සෙල්ල කතරගම ප්රදේශයේ සති තුනක පමණ කාලයක් රැඳී සිටි අවස්ථාවේ, ප්රදේශයේ ග්රාම නිලධාරීවරයා, ප්රාදේශීය මහ ලේකම්වරයා, සහකාර ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මැනුම් නිලධාරියකු තම ඉඩමට ඇතුළු වූ බව ඇය චෝදනා කරයි.
ඇගේ ප්රකාශයට අනුව, ඇයගේ කැමැත්ත හෝ පෙර දැනුම්දීමකින් තොරව ඉඩමේ කොටසක් ඩෝසර් කර සමතලා කර ඇති අතර, කෙටි සිමෙන්ති කණු ද සවිකර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය 2026 සැප්තැම්බර් 28 වැනිදා කතරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සැප්තැම්බර් 29 වැනිදා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ද ලිඛිතව දැනුම් දී ඇති අතර, ඔක්තෝබර් 1 වැනිදා ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, තම පැමිණිල්ල සම්බන්ධයෙන් මේ දක්වා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ප්රතිචාරයක් ලැබී නොමැති බව ඇය පවසයි.
ඉඩමේ නීත්යනුකූල අයිතිය, සීමා සහ අදාළ නිලධාරීන් ගත් ක්රියාමාර්ග පිළිබඳව විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ඇය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, තම පැමිණිලි පිළිබඳව කඩිනම් අවධානය යොමු කර සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ද ඇය ඉල්ලීමක් කරයි.
