2027න් පසුවත් ශ්‍රී ලංකාවට සහය දීමට IMF සූදානම්!

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර ක්‍රියාත්මක විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන 2027 වසරේදී අවසන් වීමට නියමිත වුවද, ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම ආකාරයක සහායක් ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එම අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සොනාලි ජේන් චන්ද්‍රා මහත්මිය මේ බව සඳහන් කර ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික හමුවට සමගාමීව ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදීය.

වත්මන් මූල්‍ය වැඩසටහනෙන් අනතුරුව නව මූල්‍ය හෝ තාක්ෂණික සහාය වැඩසටහනක් ඉල්ලා සිටින්නේද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා බලධාරීන් සතු පූර්ණ අයිතියක් බවද ඇය පෙන්වා දී තිබේ.

වත්මන් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික ජයග්‍රහණ අත්කරගෙන ඇති බව සඳහන් කළ ඇය, නව මූල්‍ය පහසුකම් වැඩසටහනක්, නිරීක්ෂණ රාමුවක් යටතේ ප්‍රතිපත්ති උපදෙස් ලබාදීම හෝ ධාරිතා සංවර්ධනය වැනි ක්‍රමවේද ඔස්සේ ඉදිරියටත් සහාය ලබාදීමට IMF සූදානම් බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවත්, රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් වී ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ද බොහෝ දුරට අවසන් වී ඇති බවත් ඇය සඳහන් කර තිබේ. එමෙන්ම යහපාලනය ඇතුළු ව්‍යුහාත්මක ක්ෂේත්‍රයන්හි ද ශ්‍රී ලංකාව වැදගත් ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ඇය පෙන්වා දී ඇත.

මේ අතර, IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ හත්වැනි සමාලෝචනයට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 345ක පමණ මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පසුගියදා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹ තිබේ. අදාළ සමාලෝචනය සාර්ථකව අවසන් කිරීමෙන් පසු එම මුදලට සමාන විශේෂ ගැනුම් හිමිකම් (SDR) ප්‍රමාණයකට ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවනු ඇත.

මෙම එකඟතාව IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අතර, වත්මන් වැඩසටහන අවසන් වීමට පෙර තවත් සමාලෝචන දූත මෙහෙයුමක් පැවැත්වීමට ද නියමිතය.

වත්මන් වැඩසටහනෙන් පසුවද ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට IMF සූදානම් බව අවධාරණය කළ සොනාලි ජේන් චන්ද්‍රා මහත්මිය, අවශ්‍යතාව අනුව මූල්‍ය සහාය මෙන්ම ප්‍රතිපත්තිමය හා තාක්ෂණික උපදෙස් ලබාදීමේ හැකියාව ද පවතින බව සඳහන් කර ඇත.

Social Sharing
නවතම පුවත්