
සංවිධානාත්මක අපරාධ මැඩපවත්වා සමාජය ආරක්ෂා කිරීමේ අරමුණින් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතක් රජය විසින් ගැසට් මගින් ප්රකාශයට පත් කර තිබේ.
ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම, බරපතළ අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා ජාතික හා අන්තර්ජාතික සහයෝගීතාව ප්රවර්ධනය කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්රධාන අරමුණු අතර වේ.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල ක්රියාකාරකම් වැළැක්වීම, මර්දනය කිරීම සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය විධිවිධාන සැලසීමට ද මෙයින් අපේක්ෂා කෙරේ.
පනත් කෙටුම්පත අනුව, බරපතළ අපරාධයක් සිදුවී ඇති බවට සාධාරණ සැකයක් පවතින අවස්ථාවල පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීම, සැකකරුවන්ගෙන් ප්රශ්න කිරීම, වරෙන්තුවකින් තොරව පරිශ්රවලට ඇතුළු වී සෝදිසි කිරීම සහ පුද්ගලයන්, ලේඛන හා භාණ්ඩ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට බලතල ලබාදීමට යෝජනා කර තිබේ.
කෙසේ වෙතත්, මෙම බලතල ක්රියාත්මක කිරීමේදී සාධාරණ සැකය පිළිබඳ පැහැදිලි නිර්ණායක සහ ස්වාධීන අධීක්ෂණ යාන්ත්රණ අවශ්ය බව නීතිඥ චලනි දයාරත්න පෙන්වා දෙයි.
ඇය පවසන්නේ එවැනි සීමා ප්රමාණවත් නොවුවහොත් අත්තනෝමතික සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුවීමේ අවදානමක් පවතින බවයි.
පැය 72ක් දක්වා පොලිස් භාරයේ තැබීමට යෝජනා
පනත් කෙටුම්පතේ 18 වන වගන්තිය අනුව අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකු පැය 72ක් ඇතුළත ළඟම මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට යෝජනා කර තිබේ. අවශ්යතාවක් පවතින විට ලිඛිතව හේතු සටහන් කර තවත් පැය 24ක් දක්වා පොලිස් භාරයේ රඳවා තැබීමට මහේස්ත්රාත්වරයාට අවසර ලබාදිය හැකි බව ද කෙටුම්පතේ දැක්වේ.
එමෙන්ම, අත්අඩංගුවට ගැනීම පිළිබඳව සාමාන්යයෙන් පැය 24ක් ඇතුළත සැකකරුගේ ළඟම ඥාතියාට දැනුම් දීම සහ ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඒ පිළිබඳව දැනුම් දීමේ ප්රතිපාදන ද ඇතුළත් කර තිබේ.
මෙම යෝජනාව අපරාධ නඩු විධාන සංග්රහය යටතේ සාමාන්යයෙන් ක්රියාත්මක වන පැය 24ක් ඇතුළත මහේස්ත්රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමේ නීතියෙන් වෙනස් වන බැවින්, සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අධිකරණ අධීක්ෂණය වැදගත් බව නීතිඥවරිය අවධාරණය කරයි.
වසරක් දක්වා රඳවා තැබීමේ ප්රතිපාදන
පනත් කෙටුම්පත මගින් පොලිස්පතිවරයාට හෝ ඔහු විසින් බලය පවරන ලද නියෝජ්ය පොලිස්පති තනතුරට නොඅඩු නිලධාරියෙකුට සැකකරුවෙකු රඳවා තැබීම සඳහා අමාත්යාංශ ලේකම්වරයාගෙන් නියෝගයක් ඉල්ලා සිටීමට අවස්ථාව සලසා තිබේ.
එක් රඳවා තැබීමේ නියෝගයක් යටතේ මාස දෙකක් දක්වා කාලයක් රඳවා තැබිය හැකි අතර, එවැනි නියෝග යටතේ රඳවා තබන සමස්ත කාලය වසරක් නොඉක්මවිය යුතු බව කෙටුම්පතේ සඳහන් වේ.
දිගුකාලීන රඳවා තැබීමක් අපරාධ විමර්ශන සඳහා ප්රයෝජනවත් විය හැකි වුව ද, පුද්ගල නිදහසට එයින් ඇති විය හැකි බලපෑම සැලකිල්ලට ගෙන රඳවා තැබීමේ අවශ්යතාව සහ සාධාරණත්වය පිළිබඳ ශක්තිමත් අධිකරණ පරීක්ෂාවක් පැවතිය යුතු බව නීතිඥ චලනි දයාරත්න පෙන්වා දෙයි.
සංවිධානාත්මක අපරාධවලට දැඩි දඬුවම්
පනත් කෙටුම්පතේ 4 වන වගන්තිය යටතේ, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස සිටිමින් ද්රව්යමය ප්රතිලාභයක් ලබාගැනීමේ අරමුණින් බරපතළ අපරාධයක් සිදුකිරීමට එකඟ වන පුද්ගලයෙකු වරදකරු වුවහොත් වසර පහේ සිට විස්ස දක්වා සිරදඬුවමක් සහ රුපියල් මිලියනයක් දක්වා දඩයක් නියම කිරීමට යෝජනා කර තිබේ.
අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙකුගෙන් සමන්විත, යම් කාලයක් පවතින සහ මූල්යමය හෝ වෙනත් ද්රව්යමය ප්රතිලාභයක් ලබාගැනීම සඳහා බරපතළ අපරාධ සිදුකිරීමට එක්ව ක්රියා කරන කණ්ඩායමක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ලෙස කෙටුම්පතේ අර්ථ දක්වා ඇති බව නීතිඥවරිය සඳහන් කරයි.
මෙහිදී වසර හතරක් හෝ ඊට වැඩි උපරිම සිරදඬුවමක් නියම කළ හැකි අපරාධ බරපතළ අපරාධ ලෙස සැලකීමට යෝජනා කර ඇති බැවින්, පනතේ විෂය පථය මත්ද්රව්ය ජාවාරම හෝ ප්රචණ්ඩ අපරාධවලට පමණක් සීමා නොවන බව ද ඇය පෙන්වා දෙයි.
ඩිජිටල් නිරීක්ෂණ සහ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු
පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ඩිජිටල් නිරීක්ෂණය, සන්නිවේදන දත්ත ලබාගැනීම සහ සංකේතනය කළ උපාංග විවෘත කිරීමට බලකිරීම වැනි බලතල යෝජනා කර තිබේ.
විශේෂයෙන්ම, ඇතැම් ග්රාහක, ඇමතුම් සහ ස්ථාන දත්ත අධිකරණ නියෝගයකින් තොරව ලබාගැනීමට ඉඩ සැලසෙන ප්රතිපාදන හේතුවෙන් පෞද්ගලිකත්වය, දත්ත ආරක්ෂාව සහ ස්වාධීන අධීක්ෂණය සම්බන්ධයෙන් ගැටලු මතු වන බව නීතිඥ චලනි දයාරත්න පවසයි.
එමෙන්ම, පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු ද යන්න තීරණය කිරීමේදී ඇඳුම්, පච්ච සටහන්, භාවිත කරන භාෂාව, ඇසුරුම් සහ නිතර යන ස්ථාන වැනි කරුණු සැලකිල්ලට ගැනීමට යෝජනා කර තිබීම ද අවධානයට ලක්ව තිබේ.
මෙවැනි කරුණු විමර්ශනයකට අදාළ විය හැකි නමුත්, ඒවා පමණක් පදනම් කරගෙන අපරාධමය සම්බන්ධතාවක් නිගමනය කිරීම අසාධාරණ විය හැකි බවත්, එමගින් තරුණයන්, ආන්තික ප්රජාවන් සහ විරෝධතාකරුවන් අනවශ්ය සැකයට භාජනය වීමේ අවදානමක් පවතින බවත් ඇය අනතුරු අඟවයි.
පාපොච්චාරණ සහ මාධ්ය නිදහස
පනත් කෙටුම්පතේ 47 වන වගන්තිය යටතේ සහකාර පොලිස් අධිකාරී තනතුරට නොඅඩු නිලධාරීන්ට ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට යෝජනා කර තිබීම ද නීතිඥවරියගේ විවේචනයට ලක්ව ඇත. බලපෑම් හෝ බලහත්කාරය යටතේ ප්රකාශ ලබාගැනීමේ අවදානම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ යුතු බව ඇය පවසයි.
තවද, 48 වන වගන්තිය යටතේ ඇතැම් අවස්ථාවල මියගිය හෝ සොයාගත නොහැකි පුද්ගලයන්ගේ ප්රකාශ පිළිගැනීමට ඉඩ සැලසීම හරස් ප්රශ්න ඇසීමේ අයිතිය සම්බන්ධයෙන් ගැටලු මතු කළ හැකි බව ද ඇය සඳහන් කරයි.
පනත් කෙටුම්පතේ 14 වන වගන්තිය යටතේ අපරාධයක වින්දිතයා හඳුනාගත හැකි තොරතුරු ප්රකාශයට පත් කිරීම සහ අධිකරණ අවසරයකින් තොරව අදාළ නඩු කටයුතු පිළිබඳ තොරතුරු පළ කිරීම අපරාධයක් බවට පත් කිරීමට යෝජනා කර තිබේ.
වින්දිතයන්ගේ ආරක්ෂාව සඳහා එවැනි විධිවිධාන වැදගත් වුව ද, ඒවා ක්රියාත්මක කිරීමේදී මාධ්ය නිදහස සහ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය කෙරෙහි ඇති විය හැකි බලපෑම් ද සැලකිල්ලට ගත යුතු බව නීතිඥ චලනි දයාරත්න පෙන්වා දෙයි.
සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා නීතිමය බලතල ශක්තිමත් කිරීමේ අවශ්යතාව පිළිගන්නා අතරම, එම බලතල ක්රියාත්මක කිරීමේදී පුද්ගල නිදහස, සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය, පෞද්ගලිකත්වය සහ මාධ්ය නිදහස ආරක්ෂා කිරීම අත්යවශ්ය බව මෙම විවේචන මගින් අවධාරණය කෙරේ.
