
‘AgriConnect Sri Lanka’ වැඩසටහන නිල වශයෙන් එළිදැක්වීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලෝක බැංකුවේ දේශීය කළමනාකාර Gevorg Sargsyan මහතාගේ ප්රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් අතර ඊයේ දින පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ලබන ඔක්තෝබර් 30 වැනිදා TRACE Expert City පරිශ්රයේදී පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනේ නිල එළිදැක්වීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී ලෝක බැංකු නියෝජිත පිරිස විසින් මෙම වැඩසටහන පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් සිදු කළ අතර, ලෝක බැංකු සමූහයේ මෙම ගෝලීය වැඩසටහනට එක්වන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්රී ලංකාව පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බවද ඔවුහු පෙන්වා දුන්නෝය.
මෙම අවස්ථාව සඳහා ජාත්යන්තර මූල්ය සංස්ථාවේ ජ්යෙෂ්ඨ දේශීය නිලධාරී Victor Anthonypillai, කාර්ය ප්රධානී Tomas Ricardo Rosada Villamar, ජ්යෙෂ්ඨ ආර්ථික විද්යාඥ Felipe F. Dizon සහ ජ්යෙෂ්ඨ කෘෂිකර්ම විශේෂඥ අතුල සේනාරත්න යන මහත්වරුන් සහභාගී වූහ. එසේම ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපති ජ්යෙෂ්ඨ සහකාර ලේකම් ආචාර්ය ධනුෂ්ක පෙරේරා සහ ජනාධිපති සහකාර ලේකම් ආර්.ඒ. රුවන්පතිරණ යන මහත්වරු ද ඊට එක්ව සිටියහ.
