
ශ්රී ලංකා රේගුව විසින් දෙමළ ලේඛක දීපචෙල්වන් ප්රදීපන්ගේ කෘති දෙකක් දිගුකාලීනව රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව, අදාළ කෘතිවල සියලු පිටපත් වහාම නිදහස් කරන ලෙස කොමිෂන් සභාව ශ්රී ලංකා රේගුවට නිර්දේශ කර ඇත.
ලේඛකයා විසින් රචිත කෘති පහක පිටපත් 360ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වීමේදී පසුගිය අප්රේල් මාසයේදී රේගුව විසින් ඒවා සිය භාරයට ගෙන තිබිණි. පසුව අදාළ රාජ්ය ආයතනවල නිර්දේශ මත කෘති තුනක පිටපත් නිදහස් කිරීමට පියවර ගෙන තිබුණ ද, අනෙක් කෘති දෙක නිදහස් කිරීම රේගුව ප්රතික්ෂේප කර තිබිණි.
‘එලුත්තල් යුද්ධම් සෙයිගරේන්’ සහ ‘ඉප්පොදෙයි ඉන්ගෙයි ඉරෙන්ඩර් දේසන්ගල්’ යන කෘති දෙකෙහි දණ්ඩ නීති සංග්රහයේ 120 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි කරුණු අඩංගු බවට සැක පළ කරමින් ඒවා නිදහස් කළ නොහැකි බව රේගුව මීට පෙර ප්රකාශ කර තිබිණි.
කෙසේ වෙතත්, මෙම ක්රියාවලිය හරහා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කරමින් දීපචෙල්වන් ප්රදීපන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, එය විමර්ශනය කිරීමෙන් අනතුරුව කොමිසම මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.
කෘති රඳවා තබා ගැනීමේදී ඒවායේ භාෂාව වන දෙමළ භාෂාව තීරණාත්මක සාධකයක් වී ඇති බව සිදුවීම්වල අනුපිළිවෙළ සහ වගඋත්තරකරුවන්ගේ පැහැදිලි කිරීම් අනුව පෙනී යන බව ද කොමිසම සඳහන් කරයි.
අදාළ කෘති සම්බන්ධයෙන් රාජ්ය ආයතන කිහිපයක් පූර්ව විනිශ්චයකින් හා සැකයකින් යුතුව කටයුතු කර ඇති බව පෙනී යන බවත්, වෙනත් භාෂාවකින් රචිත කෘති සම්බන්ධයෙන් එලෙස කටයුතු නොකිරීමට ඉඩ තිබූ බවත් කොමිසම පෙන්වා දී තිබේ.
එමෙන්ම, දෙමළ භාෂාවේ සන්දර්භය හා සියුම් අර්ථ තේරුම් ගැනීමට අවශ්ය භාෂාමය නිපුණතාව රාජ්ය ආයතන තුළ සහතික කිරීමට රජය සමස්තයක් ලෙස අසමත් වී ඇති බව ද කොමිසමේ නිරීක්ෂණවල දැක්වේ.
කෘති දෙක මාස හයකට වැඩි කාලයක් රඳවා තබාගෙන තිබුණ ද, ඒවායේ අන්තර්ගතය සම්බන්ධයෙන් නීතිමය තීරණයකට එළඹීම සඳහා විධිමත් ක්රියා පටිපාටියක් අනුගමනය කර නොමැති බව ද කොමිසම සඳහන් කර ඇත.
මෙම ක්රියාවලිය හරහා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ අයිතිය මෙන්ම, 12(2) වගන්තියෙන් සහතික කර ඇති භාෂාව පදනම් කරගෙන වෙනස්කමකට ලක් නොවීමේ අයිතිය ද උල්ලංඝනය වී ඇති බව කොමිසම නිගමනය කර තිබේ.
තවද, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 14(1)(a) වගන්තිය යටතේ සහතික කර ඇති ප්රකාශනයේ නිදහස සහ 14(1)(f) වගන්තිය යටතේ තම සංස්කෘතිය භුක්ති විඳීමට හා ප්රවර්ධනය කිරීමටත්, තම භාෂාව භාවිත කිරීමටත් ඇති අයිතිවාසිකම් ද මෙහිදී උල්ලංඝනය වී ඇති බව කොමිසම පෙන්වා දී ඇත.
ශ්රී ලංකාව අත්සන් කර ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියේ 27 වැනි වගන්තිය මගින් ද භාෂාමය සුළුතර ප්රජාවන්ට තම සංස්කෘතිය භුක්ති විඳීමට සහ තම භාෂාව භාවිත කිරීමට ඇති අයිතිය ආරක්ෂා කර ඇති බව කොමිසම සිය නිර්දේශවලින් අවධාරණය කර තිබේ.
ඒ අනුව, ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 15(3)(c) සහ 15(4) වගන්ති යටතේ, රඳවාගෙන ඇති කෘති දෙකෙහි සියලු පිටපත් වහාම නිදහස් කරන ලෙස කොමිසම නිර්දේශ කර ඇත.
එම නිර්දේශ ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2026 දෙසැම්බර් 2 වැනිදා හෝ ඊට පෙර වාර්තාවක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබේ.
ශ්රී ලංකා රේගුවේ අධ්යක්ෂ ජනරාල්වරයා, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
