
ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ වසර පුරා සහ 2027 වසරේ මුල් කාලය තුළද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ 2027 වසරේ දෙවන කාර්තුවෙන් පසුව උද්ධමනය මහ බැංකුව විසින් අපේක්ෂා කරන 5%ක ඉලක්කය වෙත ක්‍රමයෙන් ළඟාවනු ඇති බවයි.
මේ අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (30) නිකුත් කළ 2026 සැප්තැම්බර් මාසයට අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශක දත්ත අනුව, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේ පැවති 8.0% මට්ටමේම සැප්තැම්බර් මාසයේදීත් පවතින බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, 2026 අගෝස්තු මාසයේදී 8.0%ක් වූ ලක්ෂ්යමය පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදීද 8.0%ක් ලෙස නොවෙනස්ව පැවතිණි.
කෙසේ වෙතත්, ආහාර කාණ්ඩයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ. 2026 අගෝස්තු මාසයේදී 8.5%ක් වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 8.7% දක්වා ඉහළ ගොස් ඇත.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයේ වෙනසක් වාර්තා වී නොමැති අතර, අගෝස්තු මාසයේදී 7.7%ක් වූ එම කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදීද 7.7%ක් ලෙස පවතී.
උද්ධමනය ඉහළ යාමෙන් ආර්ථිකයට සහ ජනතාවට ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා මේ වනවිට මුදල් ප්‍රතිපත්තිය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළු ප්‍රතිපත්තිමය මෙවලම් භාවිත කරමින් අවශ්‍ය පියවර ගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
ඉදිරියේදීද ආර්ථිකයට බලපාන අවිනිශ්චිත තත්ත්වයන් මතුවුවහොත්, ඒවායේ බලපෑම අවම කිරීම සඳහා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය මෙන්ම රජයේ රාජ්‍ය මූල්‍ය ප්රතිපත්තියද අවශ්‍ය පරිදි භාවිත කිරීමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
