“අධිකරණ සංශෝධන ගේන්නේ ඒකාධිපති වීමට නොව, ජනතාවට කඩිනමින් යුක්තිය ඉටු කිරීමටයි” – අධිකරණ ඇමති

“මේ සංශෝධන ගේන්නේ ඒකාධිපති වෙන්නවත්, මර්දනය කරන්නවත් නෙමෙයි. ඉක්මනට නඩු අහලා මිනිස්සුන්ට යුක්තිය, සාධාරණය ඉෂ්ට කරන්න” යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ඊයේ (24) පෙරවරුවේ මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා,

අපේ රජය පත්වෙලා වසර දෙකක් ගතවෙන මේ මොහොතේදී ජනතාවට අපි නැවත නැවත මතක් කරන්න අවශ්‍ය නැහැ, නමුත් ඔවුන් දන්නවා අපි ජන වරම අනුව කටයුතු කරන පුද්ගලයන් බව. ජන වරම අනුව කටයුතු කරන ආණ්ඩුවක් බව. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පිටු අංක දෙසීය අරන් බැලුවොතින්, එහිදී මූලධර්ම වශයෙන් අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වීම, නීති පද්ධතියක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මූලධර්ම වශයෙන් අපි සඳහන් කරන්නේ මොකක්ද? සාධාරණව හා සමානව නීතියේ රැකවරණය විනිවිද භාවය සහ කාර්යක්ෂමතාවය ස්වාධීනත්වය සහ ජනතා විශ්වාසය මෙන්න මේ මූලධර්ම මත පිහිටලා තමයි අපි අධිකරණ පද්ධතිය මෙහෙවනවා කියන කාරණාව ජනතාවට පොරොන්දු වුනේ. අද ඒ පොරොන්දුවේ එක කොටසක් ඉටුකරන දවසක් මේ පනත් මගින්. ගරු කථානායකතුමනි, නීතියේ විධානයේ ආධිපත්‍යය පිහිටුවන්න අධිකරණයක් විතරක් කාර්යක්ෂම වෙලා හරියන්නේ නැහැ. මේ කාර්යක්ෂමතාවය කියන එක ඇතිවෙන්නට ඕන පද්ධතියේ තැන් කීපයක. එක පැත්තකින් පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාර්යක්ෂම විය යුතුයි. අන්න ඒ සම්බන්ධයෙන් අපි මේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2024 බලයට පත්වූ මොහොතේ සිට කටයුතු කරලා තිබෙනවා. පොලීසියේ වැටුප් වැඩි කිරීම්, දීමනා ලබාදීම්, පුද්ගලයන් බඳවාගැනීම් සහ නොයෙකුත් පියවරයන් තියෙනවා. පොලීසිය කාර්යක්ෂම ලෙස විමර්ශනය සිදුකරේ නැත්නම් නඩුවක් පවරාගැනීමට හැකියාවක් එන්නේ නැහැ. එසේ විමර්ශනය කරලා සාක්ෂි ගොනු කරගත්තයින් පස්සේ නීතිපතිවරයා විසින් ඒ සලකා බලන්න ඕන, අධිචෝදනා පත්‍ර පවරන්න, නඩු පවරන්න, නීති උපදෙස් දෙන්නට. එහෙමනම්, අපි එතකොට එතනත් පුරප්පාඩු තිබෙනවා. දැන් ඒ පුරප්පාඩු බඳවාගන්න වෙනවා. ඔවුන්ට අවශ්‍ය මානව සම්පත් දීලා, තාක්ෂණය දීලා එය කාර්යක්ෂම කරගන්න ඕන. අද ඉතාම සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් – අධිනීතිඥවරු සහ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරු සහිත තනතුරු නීතිපති දෙපාර්තමේන්තුව තුළ රාජකාරී කරන්නේ. ඔවුන් නඩු 15,000ක් 20,000ක් විතර මෙහෙවනවා. එහෙනම් ඒ ගැටලුව විසඳන්න ඕන , එය කාර්යක්ෂම කරන්නට ඕන. ඒ විතරක් ප්‍රමාණවත්ද? නැහැ. නඩුවක් කරගෙන යන්නේ යම් අවස්ථාවලදී විද්‍යාත්මක වාර්තා අවශ්‍ය වෙනවා.

ඒ කියන්නේ රස පරීක්ෂක වාර්තාවක් උදාහරණයක් වශයෙන් ගත්තොත්, අපි එනකොට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව 118ක් තිබුණා. එතකොට රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වෙනවා. මේ වන විට කොන්ත්‍රාත් පදනම් මතත් ස්ථිර සේවයටත් සියල්ල 70 කට ආසන්න ප්‍රමාණයක් බඳවාගෙන එහි පවතින තදබදය අඩු කරන්න කටයුතු කළා. ඒ ප්‍රමාදවීම නිසා බන්ධනාගාරවල අධික තදබදයක් ආවා. එය වෙනස් කරන්න අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කරලා, දැන් ගිය මාසයේ රස පරීක්ෂක වාර්තා 9,081ක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ සියල්ලම කරන්නේ ඇයි? මේ සියල්ලම කාර්යක්ෂම වුණාම තමයි උසාවිය අපිට කාර්යක්ෂම කරන්න වෙන්නේ.

මා අවස්ථා කීපයකදී කිව්වා, ගිය අවුරුද්දේම අපි දැකපු මූලික දේ මොකක්ද? නඩු ලක්ෂ එකොළහක් පද්ධතිය තුළ තිබෙනවා, නමුත් තියෙන උසාවි සංඛ්‍යාව සහ නඩු විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ. ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය අවුරුද්දකින් දෙකකින් ඇති වු ච එකක් නෙමෙයි, අවුරුදු විස්සක් විසි පහක් තිස්සේ කිසිදු පුරෝකථනයක් නොමැතිව, සැලැස්මක් නොමැතිව යාමේදී ඇතිවෙච්ච තත්ත්වයක්. ඒ වගේම මේක විසඳන්නත් කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන තිබුණේ නැහැ. දැනට අවුරුදු විසි පහකට තිහකට කලින් පියවර ගත්තා නම්, අද වෙනකොට මේ තදබදය අඩු කරගන්න තිබුණා. අද අපේ රටේ මිනිස්සු අධිකරණවල කොච්චරනම් රස්තියාදු වෙනවද? එකම නඩුව අවුරුදු ගණනන් ඇදෙනකොට, කල් යනකොට, ඔවුන්ට වැය වෙන මුදල, ඔවුන්ගේ දේපළ උගස් තියලා අමාරුවෙන් නීතිඥ ගාස්තු ගෙවාගෙන රස්තියාදු වෙන එක නතර කරන්න අපිට උවමනාව තිබෙනවා, ඒක අපි ජනතාවට දීපු පොරොන්දුවක්. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න නම් අපිට අධිකරණ පද්ධතියම කාර්යක්ෂම කරන්න අවශ්‍ය වෙනවා. මේක අපි ආරම්භ කළේ 2024 නොවැම්බර් වලයි. ඕනෑම දියුණු රටක සාමාන්‍යයෙන් ජනගහනයෙන් මිලියනයකට නඩුකාරතුමන්ලා 40ත් 60ත් අතර ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. නමුත් අපේ රටේ ජනගහනයෙන් මිලියනයකට ඉන්නේ නඩුකාරතුමන්ලා විසි දෙනෙක් පමණයි. එතකොට අනිවාර්යයෙන්ම නඩු ගොඩගැහෙනවා. නඩු 1,000, 2,000 ගොඩගැහෙන කොට මාස හයෙන් හයට නඩු කල් යනවා. දැන් මේ ප්‍රශ්න නිසා ජනතාව පීඩා විඳිනවා, බැටකනවා. එහෙනම් අද අපි මේ සංශෝධනය ගේන්නේ සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක එක කොටසක් වශයෙන් සහ ජනතාවට සිදුවන අපහසුකම් වළක්වීම තමයි මූලික අරමුණින් යුතුවයි.

ඒ වගේම තර්කයක් එනවා මොකක්ද, “වයස, විශ්‍රාම යන වයස දීර්ඝ කරා කියලා අධිකරණ කාර්යක්ෂම වෙන්නේ නැහැ.” ඔව්, ඒක විතරක්නම් අපි කරන්නේ, නමුත් එය සමස්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක කොටසක් වෙනකොට එය කාර්යක්ෂම වෙන විදිහ මා පැහැදිලි කරන්නම්. නමුත් ඊට කලින් මා කියන්නට ඕන, අපි, මා ඔබට කලින් කිව්වා ඉන්න නඩුකාරයන් සංඛ්‍යාව. දැන් වැඩි කරන්න ඕන හින්දා අපි රුසියාව ගත්තොත් ජනගහනයෙන් මිලියනයකට 242ක් ඉන්නවා. තායිලන්තය වගේ ගත්තොත් ජනගහනයෙන් මිලියනයකට 68 ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. එංගලන්තයේ 51ක් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් මිලියනයකට 44 ක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ 20යි කියලා කිව්වට ඇත්තටම දත්ත අනුව 19යි ඉන්නේ. මෙම තත්ත්වයන් විසඳීම සඳහා අධිකරණ වැඩි කරන්න වෙලාව තියෙනවා. ඉන්න විනිශ්චයකරුවන් සංඛ්‍යාව වැඩි කරන්න වෙලාව තියෙනවා, නමුත් මේක එක විට කරන්න හැකියාවක් නැහැ. නමුත් අපි ආපු කාලය තුළ රස පරීක්ෂක වාර්තා වැඩි කිරීම සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය මං පැහැදිලි කරා. ඒත් කාර්යක්ෂම කිරීමේ එක කොටසක්. එපමණක් නොවෙයි, අප ආණ්ඩුව විසින් පසුගිය වසර දෙක තුළ අධිකරණ ශාලා සංඛ්‍යාව 29කින් වැඩි කලා. ශාලා සංඛ්‍යාව, උසාවි ගණන නෙමෙයි. වාණිජ මහාධිකරණ හතරක් තිබුණ එක පහ දක්වා වැඩි කරලා තිබෙනවා. ත්‍රිපුද්ගල මහාධිකරණ 2ක් දාලා තිබෙනවා. මහාධිකරණ 48, 49ක් වෙලා තිබෙනවා. ඒ වගේම සිවිල් අභියාචනා මහාධිකරණ සංඛ්‍යාව එකකින් වැඩි කරලා එය දෙක දක්වා ඉහළ නැංවුවා. වාණිජ මහාධිකරණ සංඛ්‍යා දෙකකින් වැඩි කරලා පහ දක්වා ඉහළ නැංවුවා. අපරාධ නඩු අහන මහාධිකරණ සංඛ්‍යාව තුනකින් වැඩි කරලා එකොළහක් දක්වා වැඩි කළා. ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් ස්ථාපිත කළා. ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ දෙදක් ස්ථාපිත කළා. මහාධිකරණ ශාලා අංක හය, දහය, එකොළහ අල්ලස් නඩු ඇසීම සඳහාම අපි වෙන් කළා. මූල්‍ය ආරවුල් කඩිනමින් විසඳීම සඳහා සුළු හිමිකම් අධිකරණයක් අලුතින් නිල නිවසක ස්ථාපිත කළා. මේ සියල්ලම කරන්නේ ඇයි? මිනිස්සු අධිකරණවල රස්තියාදු වෙන එක නතර කරන්න ඕන, නඩු ඉක්මනට අහන්න ඕන. කලින් හිටපු එකම ආණ්ඩුවකටවත් උවමනාවක් තිබුණේ නැහැ නඩු ඉක්මනට අහලා ඉවර කරන්න. න්. සාක්ෂිකාරයෙක්ට එන්න බැරිවීම නිසා අවස්ථා කීයක නඩු කල් යනවද කියලා නීතිඥවරු දන්නවා. Voice to Text තාක්ෂණය අපි සාර්ථක ලෙස අත්හදා බැලුවා. ඒ අත්හදා බැලීම සඳහා, ඒක සාර්ථක නිසා අපි උසාවි 350කට මෙම තත්ත්වයන් ලබාදීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කරමින් යනවා. එයිනුත් නඩු ඇසීම වේගවත් වෙනවා.

මේ සංශෝධනය හරහා අද කුමක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? මේ සංශෝධනය හරහා ව්‍යවස්ථාවට ගෙනෙන සංශෝධනය අධිකරණ සංවිධාන පනතට ගෙනෙන සංශෝධනය හරහා අපි බලාපොරොත්තු වෙනවා, මෙම නඩුකාරතුමන්ලා සියලුදෙනාගේම විශ්‍රාම යෑමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න. දැන් මේක ආරම්භයේදී මොකක්ද සිද්ධ වුණේ? සියලුම ප්‍රතිසංස්කරණ කරන අතරම දැනුමැති, පළපුරුද්ද ඇති අයව මේකේ රඳවා තබාගැනීම අවශ්‍ය වෙනවා. මොකද සියලුම ප්‍රතිසංස්කරණ අතරතුර එයත් අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඒ පළපුරුදු අය රඳවා තබාගැනීම සඳහා තමයි අපි මේක කරන්නේ. මෙය මේ වෘත්තිය තුළ වසර ගණනාවක් සාකච්ඡා වී තිබෙනවා. මොකද 1978 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ට විශ්‍රාම වයස අවුරුදු 65යි යනුවෙන් පටන් ගත්ත එක, අද අවුරුදු 30ක් ගිහිල්ලත් වැඩි කරලා නැහැ, ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙනවා. එකෙන් වෙන දේ තමයි යම් නඩුකාරතුමෙක්ගේ අත්දැකීම් බහුලව, පරිණත වෙලා එනකොටම ඔහු විශ්‍රාම යනවා. ඔවුන් 60න්, 65 න් විශ්‍රාම ගිහිල්ලා පුද්ගලික අංශයට ඉතාම හොඳට සාර්ථක ලෙස තමන්ගේ දායකත්වය දෙනවා. මේ නීතිය නිසා රජයට ඒ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න විදියක් නැහැ. ඒ නිසා, ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා මේ වෘත්තිය තුළ නිතරම සාකච්ඡා වුණා, මං හිතන්නේ එක අවස්ථාවකදී ගරු ෆයිසර් මුස්තාෆා මන්ත්‍රීතුමත් පුද්ගලික පාර්ලිමේන්තු මන්ත්‍රී යෝජනාවක් ගෙනාවා මේ දේවල් සිද්ධ කරන්න, එය ඉදිරියට ගියේ නැහැ. 2016 වසරේ අධිකරණය පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාව බලන්න. එතන යෝජනා වෙන්නේ මොකක්ද? “සියලු උපරිමාධිකරණ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස එකම වයසක් විය යුතු අතර එම වයස අවුරුදු 65ක් නම් වඩාත් සුදුසු වේ.” මොකද ඒ උත්සාහ කරන්නේ අර අභියාචනාධිකරණයේ 63වයස 65ට ගේන්න.. “සමහර විනිසුරුවරුන් විශ්‍රාම ලැබූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ නිපුණතාවය සහ සේවා සැපයීම දියුණු කිරීම හා වැඩිදියුණු කිරීම උදෙසා එම විනිසුරුවරුන්හට උපදෙස් ලබාදීම සහ ඔවුන් අධීක්ෂණය කිරීම සඳහා සේවයේ යෙදවිය හැකිය. එම විනිසුරුවරුන්ට වයස අවුරුදු 70 දක්වා සේවය කළ හැක.” ඒ කියන්නේ 2016 දීත් පිළිගන්නවා මේ නඩුකාරතුමන්ලාට වැඩ කරන්න පුළුවන් 70 වෙනකල් කියලා. ඒ සියලුම කරුණු සලකා බලා තමයි අපි මේ වයසම අවුරුදු දෙකකින් වැඩි කරන්න තීරණය කළේ.

මේ සංශෝධනයට, ගොඩක් නීතිඥවරු කැමතියි. මොකද මේ හරහා ඔවුන්ගේ සේවාදායකයන්ට සාධාරණයක් වෙනවා, කොයි නීතිඥයෙක් අකමැති තමන්ගේ සේවාදායකයාගේ නඩුව ඉක්මනින් ඉවර කරනවට. නමුත් කීපදෙනෙක් දේශපාලන හේතු මත වෙනත්ම අර්ථකථනයක් දෙන්න ගත්තා.

අපි මේ සංශෝධන ගේන්නේ ඒකාධිපති වෙන්නවත්, මර්දනය කරන්නවත් නෙමෙයි. ඉක්මනට නඩු අහලා මිනිස්සුන්ට යුක්තිය, සාධාරණය ඉෂ්ට කරන්න. ඒක අපි ගේන්නෙත් එක කෑල්ලක් හැටියට නෙමෙයි, සමස්ත අධිකරණ ක්‍රියාවලියේ ප්‍රතිසංස්කරණයක් හැටියට. අපි මේක පටන් ගත්තේ 2024 දී. අපි ජනතාවට දීපු පොරොන්දුවක්, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 200 දීපු පොරොන්දුවක් තමයි අපි මේ ඉෂ්ට කරමින් යන්නේ. සුම්බුන් විපක්ෂයට කෑලිවලට ඕන එකක් කියන්න පුළුවන්, අපි ජනතාව වෙනුවෙන් මේ ගමන දිගටම ඉදිරියට යනවා කියන සටහන තබනවා.

(දිනමිණ)

Social Sharing
නවතම පුවත්