
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ආහාර අංශය හැර අනෙකුත් සියලුම අංශවල විමර්ශනය නොකළ නඩු භාණ්ඩ 43,656ක් ගොඩගැසී තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව, මත්ද්‍රව්‍ය හා මනෝවර්තක ද්‍රව්‍ය අංශයේ පරීක්ෂා කිරීම සඳහා යොමු කර තිබූ නඩු භාණ්ඩ 29,286ක්ද විමර්ශනය නොකර ගොඩගැසී තිබී ඇති අතර, එය සමස්ත ප්‍රමාණයෙන් සියයට 67කට ආසන්න ඉහළ අගයකි.
රස පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරවල සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාමටත්, එමඟින් බන්ධනාගාර තදබදය වැඩි වීමටත් බලපා ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
එක් රිමාන්ඩ් සැකකරුවකු නඩත්තු කිරීම සඳහා දිනකට රුපියල් 1,411ක පමණ මුදලක් වැය වන බවත්, රස පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් රජයට අමතර වැය බරක් දැරීමට සිදුවන බවත් වාර්තාව සඳහන් කරයි.
පසුගිය වසරේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත නඩු භාණ්ඩ 70,846ක් ලැබී තිබූ අතර, එම ප්‍රමාණයෙන් විද්‍යාත්මක වාර්තා නිකුත් කර තිබුණේ නඩු භාණ්ඩ 32,769කට පමණක් බව විගණන නිලධාරීන් අනාවරණය කර ඇත.
ඒ අනුව, ලැබුණු නඩු භාණ්ඩවලින් වාර්තා නිකුත් කර තිබූ ප්‍රතිශතය සියයට 46ක් පමණක් බවද වාර්තාවේ දැක්වේ.
දෙපාර්තමේන්තුවට ඇතැම් නිලධාරීන් බඳවාගෙන තිබුණද, එහි කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා එම පිරිස ප්‍රමාණවත් නොවන බවද සඳහන් වේ.
විගණන වාර්තාවට අනුව, දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය තීරණ ගැනීම සඳහා වැදගත් වන ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 40ක් සහ තෘතීයික මට්ටමේ තනතුරු 9ක් පුරප්පාඩුව පවතී.
මෙම පුරප්පාඩු හේතුවෙන් නඩු භාණ්ඩ විශ්ලේෂණයෙන් අනතුරුව නිකුත් කළ යුතු විද්‍යාත්මක වාර්තා මාස තුනක් ඇතුළත ලබාදීමට බාධා මතුව ඇති බවද ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය පොලිස් විමර්ශන සහ බන්ධනාගාර කටයුතු මෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යක්ෂමතාවයටද බලපා ඇති බව වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සඳහන් කර ඇත්තේ මේ වන විට නඩු භාණ්ඩ සම්බන්ධ තදබදය යම් මට්ටමකට අඩු වී ඇති බවයි.
