
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට සිර දඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව අත්තනෝමතික ලෙස ලබාදී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව, ඥානසාර හිමියන් මුදා හැරීම සඳහා ලබාදුන් ජනාධිපති සමාව බලශූන්‍ය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේදී සිය බලය අබිබවා කටයුතු කර ඇති බවයි. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම ද උල්ලංඝනය වී ඇති බව අධිකරණය තීන්දු කර තිබේ.
එමෙන්ම, ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේදී මහජන භාර මූලධර්මය සහ ස්වභාවික යුක්ති මූලධර්මය උල්ලංඝනය වී ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.
ජනක් ද සිල්වා, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැණුනු අතර, විනිසුරු මඬුල්ලේ එකඟත්වයෙන් විනිසුරු ජනක් ද සිල්වා මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
2016 ජනවාරි 3 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී අධිකරණ අවසරයකින් තොරව අධිකරණය ඇමතීම, අධිකරණ කටයුතුවලට බාධා කිරීම සහ අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවලට වරදකරු කළ අභියාචනාධිකරණය උන්වහන්සේට බරපතළ වැඩ සහිත වසර 19ක සිර දඬුවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය. එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයද අදාළ දඬුවම තහවුරු කර තිබිණි.
කෙසේ වෙතත්, පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදී නිදහස් කර තිබූ අතර, එම තීරණය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ කරුණු අනුව, ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ හිමිවරුන් ඇතුළු ආගමික නායකයන් සහ සිවිල් සමාජයේ ප්‍රමුඛයන් කළ ඉල්ලීම් මත හිටපු ජනාධිපතිවරයා මෙම සමාව ලබාදී ඇති බව අධිකරණය නිරීක්ෂණය කර තිබේ.
එමෙන්ම, අදාළ ජනාධිපති සමාව ලබාදීමේදී හිටපු ජනාධිපතිවරයා අතිරේක ලේකම් (නීති) විසින් ලබාදුන් උපදෙස් මත පමණක් කටයුතු කර ඇති බව පෙනී යන බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපති සමාවක් ලබාදීමේදී ඒ සඳහා හේතු වූ කරුණු ජනාධිපතිවරයා විසින් පැහැදිලිව සඳහන් කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත.
ඒ අනුව, ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම අත්තනෝමතික සහ නීතියට පටහැණි ක්‍රියාවක් බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම ජනාධිපති සමාව බලශූන්‍ය කිරීමට නියෝග කළේය.
