මෙරට ජාතික අවම වැටුප් ශ්‍රේණිගත කිරීම පිළිබඳව කම්කරු අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදු කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික අවම වේතනය සම්බන්ධයෙන් පසුගියදා ප්‍රකාශයට පත් වූ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම පිළිබඳව කම්කරු අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර ඇත. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 120 වන ස්ථානයට පත්ව ඇත්තේ ‘විෂුවල් කැපිටලිස්ට්’ (Visual Capitalist) ආයතනය විසින් 2024 වසරේ දත්ත පදනම් කරගනිමින් සකස් කරන ලද වාර්තාවකට අනුව බවත්, එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් නිකුත් කරන ලද්දක් නොවන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම වර්ගීකරණය සකස් කිරීමට තමන්ගේ කිසිදු දායකත්වයක් නොමැති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය ද තහවුරු කර තිබේ. කෙසේ වෙතත්, මෙම තොරතුරු සඳහා එම සංවිධානයේ ප්‍රසිද්ධ දත්ත පද්ධතියක් වන ‘ILOSTAT’ හි ඇති දත්ත භාවිත කරන්නට ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

එක් එක් රටවල අවම වේතන නියම කිරීමේ ක්‍රමවේදයන්, කලාපීය, ක්ෂේත්‍රමය සහ වෘත්තීය ආවරණයන් අනුව සැලකිය යුතු ලෙස වෙනස් වන බැවින් මෙවැනි සරල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් සෘජුව සංසන්දනය කිරීමේදී සැලකිලිමත් විය යුතු බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දී ඇත. එසේම මෙවැනි ශ්‍රේණිගත කිරීම් මගින් අවම වේතනයේ ප්‍රායෝගික ආවරණය හෝ නීතිමය ක්‍රියාත්මක භාවය නිසි ලෙස පිළිඹිබු නොවන බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි. මීට අමතරව, අදාළ ශ්‍රේණිගත කිරීම සඳහා පදනම් කරගත් දත්ත සැකසූ කාලපරිච්ඡේදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ජාතික අවම වේතනය වාර කිහිපයකදීම සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි.

2024 වසර ආරම්භයේදී රුපියල් 12,500 ක් වූ ජාතික අවම මාසික වේතනය 2024 සැප්තැම්බර් 11 වනදා සිට රුපියල් 17,500 දක්වා වැඩි කරන ලදී. ඊට අමතරව හිමි වූ රුපියල් 3,500 ක අයවැය සහන දීමනාව ද සමග සේවකයකුගේ අවම මාසික Remuneration එක රුපියල් 21,000 ක් විය. මෙම අදාළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම ගණනය කිරීමේදී මුලින් පැවැති රුපියල් 12,500 මුදල, සංශෝධිත රුපියල් 17,500 මුදල හෝ අයවැය සහන දීමනාව ඇතුළත් කර ඇත්ද යන්න පැහැදිලි නැති බව අමාත්‍යාංශය පවසයි. ඉන් පසුව 2025 අප්‍රේල් මාසයේදී ජාතික අවම වේතනය රුපියල් 27,000 දක්වාත්, 2026 ජනවාරි මාසයේ සිට රුපියල් 30,000 දක්වාත් වැඩි කිරීමට පියවර ගත් අතර, පෙර පැවති අයවැය සහන දීමනා ද මෙම නව අවම වේතනයටම ඇතුළත් කර ඇත.

ඒ අනුව 2024 වසර ආරම්භයේදී පැවැති රුපියල් 12,500 ක අවම වේතනය හා සසඳන විට ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික අවම මාසික වේතනය රුපියල් 30,000 කි. 2024 දත්ත පදනම් කරගත් එකී 120 වන ශ්‍රේණිගත කිරීම මගින් ශ්‍රී ලංකාවේ වත්මන් වේතන මට්ටම නිරූපණය නොවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. 2024 ආරම්භයේ සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ ජාතික අවම වේතනය 87% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බැවින්, අදාළ ශ්‍රේණිගත කිරීම වත්මන් තත්ත්වය පිළිබඳ තක්සේරුවක් ලෙස නොව නිසි සන්දර්භය තුළ තබා වටහා ගත යුතු බව කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Social Sharing
නවතම පුවත්