දුම්රිය සේවය අර්බුදයට ඇද දමන දූෂණ හා අක්‍රමිකතා

ආයතනික අසාර්ථකත්වය, ක්‍රමානුකූල දූෂණ සහ පුළුල් අක්‍රමිකතා හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය පිළිබඳ මහජන විශ්වාසය බරපතළ ලෙස පළුදු වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ජාතික විගණන කාර්යාලයේ විගණන වාර්තා, රාජ්‍ය ගිණුම් කමිටුවේ විමර්ශන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන මගින් දුම්රිය සේවය තුළ පවතින බව කියන ක්‍රමානුකූල දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

2025 ජූලි මාසයේදී රුපියල් බිලියනයක පමණ වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 6,000ක යකඩ සහ දුම්රිය මැදිරි වෙන්දේසි කිරීමේදී ටෙන්ඩර් පෙට්ටි විවෘත කිරීමෙන් අනතුරුව ඇතැම් හිතවත් ටෙන්ඩර්කරුවන්ට ලේඛන වෙනස් කිරීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවස්ථාව ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මේ අතර, 2026 මූල්‍ය විගණනවලදී දුම්රිය සේවයේ නඩත්තු කටයුතු සඳහා වෙන්කරන මුදලට සාපේක්ෂව වැටුප් සහ අතිකාල දීමනා සඳහා අතිවිශාල මුදලක් වැය වන බවට කරුණු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

විදේශයන්ගෙන් ඩොලර් මිලියන ගණනක් වැය කර ආනයනය කළ ඇතැම් දුම්රිය එන්ජින් සහ මැදිරි මෙරට දුම්රිය මාර්ග පිරිවිතරයන්ට නොගැලපීම සහ කාර්මික දෝෂ හේතුවෙන් නිසි පරිදි භාවිතයට ගැනීමට නොහැකිව දිරාපත් වීමට ඉඩහැර ඇති බවටද චෝදනා පවතී.

එමෙන්ම Viceroy II සුඛෝපභෝගී දුම්රිය මැදිරිය ඇතුළු වටිනා දුම්රිය දේපළ සහ ඉඩම් පෞද්ගලික අංශයට බදු දී තිබුණද, ඒවායෙන් අයවිය යුතු බව කියන මිලියන ගණනක බදු මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවටද කරුණු ඉදිරිපත් වී තිබේ.

විශේෂයෙන්ම ජනප්‍රිය සහ සංචාරක ආකර්ෂණයක් සහිත දුම්රිය මාර්ගවල මාර්ගගත ටිකට්පත් නිකුත් කිරීමේ පද්ධතියේ පවතින දුර්වලතාද මේ වනවිට දැඩි අවධානයට ලක්ව ඇත. පද්ධතියේ දුර්වලතා සහ අභ්‍යන්තර මැදිහත්වීම් උපයෝගී කරගනිමින් ටිකට්පත් කෙටි වේලාවක් තුළ අවසන් කර, පසුව ඒවා කළු කඩ වෙළෙඳපොළේ අලෙවි කරන ජාවාරම් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී තිබේ.

තවද, දේශපාලන හෝ වෘත්තීය සමිති සබඳතා මත ඇතැම් පුද්ගලයන්ට නීති විරෝධී ලෙස නොමිලේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් දුම්රිය සේවයට වාර්ෂිකව රුපියල් මිලියන ගණනක ආදායමක් අහිමි වන බවටද චෝදනා පවතී.

අතිකාල සීමාවන් සම්බන්ධයෙන් පවතින අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් වාර ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතුද ප්‍රමාද වන බව සඳහන් වේ.

මෙවැනි දූෂණ, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා හේතුවෙන් අවසානයේ බලපෑමට ලක්වන්නේ දුම්රිය මගීන් බවටද පෙන්වා දී තිබේ. දැනට කාලසටහන්ගත කර ඇති දුම්රිය ගමන්වාරවලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ධාවනය වීම හෝ හදිසියේ අවලංගු වීම මගීන්ගේ දෛනික කටයුතු කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන බව සඳහන් වේ.

දුම්රිය සේවයේ ගැටලු මගීන්ගේ ප්‍රමාදයන්ට පමණක් සීමා නොවන අතර, පද්ධතිමය දුර්වලතා සහ වගවීමේ හිඟය පිළිබඳවද පුළුල් අවධානයක් යොමුවී තිබේ.

Social Sharing
නවතම පුවත්