
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කර ඇති අතර, එහි නව අධ්යක්ෂවරයා ලෙස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා පත් කර තිබේ.
මෙම පත්කිරීම් ඊයේ (01) විශේෂ රාජකාරි පදනම මත සිදු කර ඇති අතර, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලැබෙන තෙක් එම පදනම මත කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.
ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරය පුරප්පාඩු වී තිබිණි. එම පුරප්පාඩුව සඳහා රොෂාන් අමරසිංහ මහතා පත් කර ඇත.
මේ වන විට චීනයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වෙමින් සිටින රොෂාන් අමරසිංහ මහතා ඉදිරි සතියේදී මෙරටට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
මේ අතර, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටි ඒ.එස්.කේ. බණ්ඩාර මහතා පත් කර තිබේ.
මූල්‍ය අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශ රැසක සේවය කර ඇති ඒ.එස්.කේ. බණ්ඩාර මහතා දක්ෂ නිලධාරියකු ලෙස පොලිස් නිලධාරීන් අතර ප්‍රසිද්ධියක් උසුලන බව සඳහන් වේ.
උපුටා ගැනීම දිනමිණ
