
කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට වාර්තා වූ පැමිණිල්ලකට අනුව, මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනයට ලක් වෙමින් පැවති, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක විමර්ශනය, අපැහැදිලි දිනයක් හා නිවැරදි නොවූ ලියාපදිංචි අංක යොදා, එම පැමිණිල්ලට අදාළ නොවූ කාරණයක් උපුටා දක්වමින් හදිසියේම අවසන් කරන බව කොමිසම විසින් එම පැමිණිලිකරුවන් වෙත ලිඛිතව දන්වා එවා ඇත.
එකී තත්ත්වය යටතේ, එහි එක් පැමිණිලිකරුවකු විසින් එම පැමිණිල්ලේ විමර්ශනය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ පැහැදිලි කිරීම් ලබා දෙන ලෙස කොමිසමෙන් ඉල්ලා ඇති අතර, ඊට පිළිතුරු ලෙස ඔවුන් අදාළ නොවන හා නොමඟ යවන සුළු පිළිතුරු ලබා දී ඇත.
ඒ අතර, පැමිණිල්ල අවසන් කළ බවට තමන් වෙත ලැබී ඇති ලිපිය සම්බන්ධයෙන් සැකයක් පැන නැගී ඇති හෙයින්, ඒ පිළිබඳව කළ ඉල්ලීමකදී කොමිසමේ නිලධාරිනියක් විසින් දුරකථන මාර්ගයෙන් පැමිණිලිකරු අමතා, ඔහුට ලැබී ඇති ලිපියේ පිටපතක් ඇය වෙත එවන ලෙස ඉල්ලීමක් කර ඇත. එහෙත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිට ඇත.
අදාළ නිලධාරිනිය තමන් වෙත ඇති ලිපියේ පිටපතක් ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ කොමිසම සතුව එම ලිපියේ පිටපතක් නොමැති බව යන්න පැමිණිලිකරුගේ විශ්වාසය වේ.
ඒ අනුව, තමන්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසියම් අගතිගාමී ක්‍රියාමාර්ගයක් සිදුව ඇති බවට තවදුරටත් තහවුරු වන බව පැමිණිලිකරු පවසා සිටියි.
මේ අතර, කොමිසම සමඟ දිගින් දිගටම තොරතුරු හුවමාරු කර ගනිමින් සිටියදී, අවසන් වශයෙන් කොමිසම විසින් ඔහුට දන්වා ඇත්තේ පැමිණිලිකරු පැමිණිල්ල සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වීම හේතුවෙන් පැමිණිල්ලට අදාළ ලිපි ගොනුව ලේඛනාගාරයට යවා ඇති බවය.
බැලූ බැල්මට, කොමිසමේ ක්‍රියාකාරිත්වය තුළින් මෙම පැමිණිලිකරුට කිසියම් අසාධාරණයක් සිදුව ඇති බව පෙනේ.
තමන්ට කොමිසම විසින් නිසි පරිදි තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලිකරු විසින් තොරතුරු දැනගැනීමේ කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ වන විට සූදානම්ව සිටී.
වාර්තා කිරීම ඥානවීර දිසානායක කුරුණෑගල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය
