නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට අධිචෝදනා!

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද පොළොන්නරුව මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධිචෝදනා ගොනු කර තිබේ.

පිල්ලෙයාන්ට අමතරව කදීර් තම්බයියා, තංගෙවිලු කදිරයාර් සහ නාගරාසා රත්නම් යන අය සෙසු විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

2009 ජුනි මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරුවන් විසින් එවකට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් විවිධ වධ හිංසා පමුණුවා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය යටතේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බව සඳහන් වේ.

පොළොන්නරුව මහාධිකරණ විනිසුරු දුලානි වීරතුංග මහත්මිය විසින් ගොනු කර ඇති අධිචෝදනා සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි දිනයකදී විත්තිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව විත්තිකරුවන් අධිකරණයට කැඳවීමෙන් පසු පොළොන්නරුව මහාධිකරණයේ රජයේ අධිනීතිඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මහතා විසින් අදාළ අධිචෝදනා ඔවුන් වෙත කියවා භාරදීමට නියමිතව තිබේ.

Social Sharing
නවතම පුවත්