හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි මෙම තරුණයා මියගොස් ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ පහරදීමක් හේතුවෙන් බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරති. එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමේ වැදගත්කම මෙම සිද්ධිය මඟින් යළිත් අවධාරණය වේ.

මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව, මුනමලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි ෆැන්සිස් දුරගේ ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයෙකි.

පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවන මරණ සම්බන්ධයෙන් වගකීම තහවුරු කිරීම, සිද්ධියට අදාළ සියලු කරුණු අපක්ෂපාතීව විමර්ශනය කිරීම සහ අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනු ඇත.

Social Sharing
නවතම පුවත්