
පන්ති කාමරයේ කණුවක් මත වතුර බෝතලයක් තැබීම සම්බන්ධයෙන් ඇති වූ බව කියන සිද්ධියකින් පසු ගුරුවරයෙකු පහර දුන් බවට චෝදනා කරන 15 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කර තිබේ. මුරවැසිහේන මහා විද්යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා අගුණකොළපෑලැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ පාර්ශ්වය බරපතළ චෝදනා එල්ල කරයි.
සිසුවා පවසන පරිදි, ඉකුත් 20 දා පාසලේ ගණිත විෂය ඉගැන්වූ ගුරුවරයා තමන්ට පහර දී හිස බිත්තියේ ගැසීමට කටයුතු කර තිබේ. එම සිද්ධියෙන් අනතුරුව ක්ලාන්ත ගතියක් සහ දැඩි හිසරදයක් ඇති වූ බවත්, ඒ පිළිබඳව පන්තිභාර ගුරුවරියට දැනුම් දුන් බවත් සිසුවා සඳහන් කරයි. අසනීප තත්ත්වය හේතුවෙන් නිවසට යාමට අවසර ඉල්ලා සිටිය ද තමන්ට ඇති වූ අපහසුතාව පිළිබඳව ප්රමාණවත් අවධානයක් යොමු නොවූ බවට ද ඔහු චෝදනා කර තිබේ.
පාසල අවසන් වී නිවසට පැමිණි සිසුවා පැරසිටමෝල් පෙති පානය කර විවේක ගෙන ඇතත්, එදින රාත්රී 9.00ට පමණ ක්ලාන්තය, කරකැවිල්ල සහ වමනය ඇති වී තිබේ. අනතුරුව ඔහුගේ මිත්තණිය විසින් සිසුවා අගුණකොළපෑලැස්ස රෝහලට ඇතුළත් කර ඇත. රෝහල්ගත කිරීමෙන් පසුව ද හිසරදය පවතින බව සිසුවා සහ ඔහුගේ පියා පවසති.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාල පාසලේ විදූහල්පතිගෙන් අප කල විමසීමේදී ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳව තමන්ට මුලින් දැනුම් දී නොතිබූ බවයි. පසුව 20 වන දා සවස නියෝජ්ය විදුහල්පතිවරයෙකු විසින් සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුවත් කළ බව ඔහු පැවසීය.
ඒ අනුව චෝදනාවට ලක්ව සිටින ගණිත ගුරුවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු ඇමතුම්වලට ප්රතිචාර නොදැක්වූ බව ද විදුහල්පතිවරයා වැඩිදූරටත් සඳහන් කළේය. තමන් අද දින නිවාඩු ලබා සිටින බව පැවසූ ඔහු, සිද්ධිය පිළිබඳ කරුණු සොයා බලා අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ප්රකාශ කළේය.
පාසල් පන්ති කාමරයක් තුළ ඇති වූ බව කියන සිද්ධියක් මෙලෙස සිසුවෙකු රෝහල්ගත වීම දක්වා දුරදිග යාමත් සමඟ, සිසුවාගේ පාර්ශ්වයෙන් එල්ල වන චෝදනා සහ ඒ සම්බන්ධයෙන් පාසල් පරිපාලනය ගන්නා ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව අපගේ අවධානය යොමුව තිබේ.
